පේරාදෙණිය සරසවියෙන් දකින්නට විදින්නට පැතූ යාපන සහෝදරත්වයේ හීනය මටත් නොකියාම වියැකී යමින් තිබිණ. අධ්‍යාපන කටයුතු සමග සටනක නියැලුණු අපිට හොරාම සරසවියේ වසර හතරෙන් තුනක්ම ඉක්ම ගොස් තිබිණ. කෙමෙන් අපි හන්තාන අඩවියේ ගතකරන සිවුවන වසරට පා තබා ගෙවී තිබුනේ මාස කීපයකි.වෙනදාටත් වඩා කාර්යබහුලව වැඩි වගකීම් සමූහයක් හිස මත පැටවෙමිනි. ඒ 2010 වසරේ මුල් කාර්තුවයි . කලකට පසු සතුටක සුළං රැල්ලක් හමා යමින් තිබිණ. ජීවිතයේ සැබෑ නොවේ යැයි තැවුණු හීනයට පාට බිදක් ලැබෙන්නට විය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ එම වසර ක්ෂේත්‍ර චාරිකාව යාපනයට යන බවට බවට නිවේදනය කෙරුණි. මීට වඩා සතුටක් තවත් කොයින්ද? දවස උදාවිය අපි යාපනයට ගමන් ඇරඹුවෙමු.
මහනුවර සිට යාපනය දක්වා A-9 මග දිගේ මගේ යාපන හීනය ගමන් කරමින් තිබිණ. යාපනය ලඟා වෙත්ම අපි හිටි ගමන් අඩියක් පමණ උඩ විසිවී නැවත අසුන මතට ඇද වැටෙමු. ඒ වනවිට එහි මාර්ග පහසුකම් බොහෝ දුර්වල තත්ත්වයක විය. අපිට ඒ ගැන වද වෙන්නට කාරණයක් නොවුණු අතර අපේ ඇස් අපේ යාපනය සොයා වෙහෙසෙමින් සිටියහ . එදා යාපනය ලඟා වනවිට හැන්දෑ වී තිබිණ. කොඩිකාමම් යනුවෙන් බෝඩ් ලෑලි දිස් වුන ප්‍රදේශයේ ගෙදරකට අපි පැමිණියෙමු. හිනා මූණක් සමග තරුණයෙක් අපේ ගුරුවරු සමග හරි හරියට කතාකරමින් නිවසේ පිරිස සමග එකතු වී අපිට සංග්‍රහ කරන්නට විය. සූදුරු යහමින් දමා තෙම්පරාදු කල කවිපි සමග ආනමාලු කෙසෙල් හා කිරි වලින් සංග්‍රහ කල නිවසේ පිරිස පුදුමය තවරාගෙන අපිට පහසුකම් සපයන්නට විය. ඒ තරුණයා කවුදැයි අපි දැන නොසිටියද ඔහු එවකට පේරාදෙණියේ පුරාවිද්යා පශ්චාත් උපාධිය හදාරමින් හිටි සුබ්‍රමණියම් කබිලන් ය. ඔහු යාපන විශ්ව විද්‍යාලයෙන් පුරා විද්‍යාව විශේෂවේදී හදාරා තිබූණේය. ඒ යාපනයෙන් අපිට ලැබුණු මුල්ම මිත්‍රත්වයේ මානව ත්‍යාගයයි.
කබිලන් අය්යා ඉන් අනතුරුව අපේ ගමනේ කප්රුක වෙමින් සියලු වගකීම් වගවීම් දැරුවේය. හැමවිටම කබිලන් අයියාගේ දිදුලන දෑස් සහිත හිනාව ඔහු අපේ ලගම සහෝදරයකු වග කීවේය. එම චාරිකාවේදී අපි මුල්වරට යාපනය සරසවියට පය තැබුවෙමු. පුෂ්පරත්නම් සර් ඇතුළු පිරිස අපි ආදරයෙන් පිළිගත්හ. එදා යාපන විශ්ව විද්‍යාලයේදී ජීවිතයේ මුල්වරට අපි ඔරිජිනල් උළුදු වඩේ කෑවෙමු. ඒ පමණක් නොව දෙමල වචනයක්වත් කතානොකරද එහි කැන්ටිමේ කෑම කමින් සිටි පිරිමි සිසුන්ගේ කමිස පාට කියමින් අපි එකිනෙකා ඔවුන් අප වෙත බෙදාගන්නට වීමු. අදටත් අපි ඒ දවස ගැන මතක් කරමින් සතුටු වෙන්නෙමු. ඔවුන් දැන් කොහේ කාට අයිතිව ජීවත් වන්නේදැයි නොදැන උන්නද 2010 දිනෙක පේරාදෙණියේ පුරා විද්‍යා අංශයේ සිංහල බස කතාකරන කෙල්ලන් ඔවුන්ටද හොරා ඔවුන් අයිති කරගෙන තිබුන වග අදටත් නොදන්නවා ඇත. අපේ පිරිමි පාර්ශවය යාපනෙන් ගැහැණු ළමුන් තෝරා අපි මෙන්ම තමන් වෙත රහසේම ලියා තබා ගත්තාදැයි අහන්නට මට අමතක විය.
යාපන ගමනේදී අපිට හමු වූ යහළු පිරිස අතර කබිලන් අයියාගේ නැගණියන් දෙදෙනා සහ එවකට යාපන විද්‍යාලයේ සහකාර කථිකාචාර්ය වරියක වූ සශිතා සර්වේෂ් කුමරදෙවන් අක්කා ද විය. මුල් දිනයේ කන්තරෝදය ඇතුළු ස්ථාන ගණනාවක් දැක බලා ගත්තෙමු. එතුවක් පොත පතෙන් දුටු යාපන පුරා විද්‍යා ස්ථාන දෑසින් දුටුවෙමු. අපි පසුදා ඩෙල්ෆ්ට් බලා යන්නට ගියෙමු. ඒ ගමන යන්නට අපි යාත්රාවකට ගොඩ වූ අතර මටත් තවත් මිතුරියකටත් යාත්රාවේ ඉහල තට්ටුවේ ඉඅදගෙන යන්නට අවශ්ය විය. ඒ බව අපේ අංශාධිපතිව සිටි මහාචාර්ය ආර්. එම්. එම් චන්ද්රරත්න සර් ට කීවිට දැඩි සේ විරුද්ධ විය. ඒ අපේ ආරක්ෂාව සලකාය. අපි මූණු ඇඹුල් කරගතිමු. මද වෙලාවකින් සර් නොපෙනී ගිය පසු පසු බෝට්ටු තට්ටුවේ ඉද ගෙන වුන් කබිලන් අය්යා හිස ඔසවා අප දෙස බලා මදක් එහාට වී හිසෙන් ඉගිකොට ඔහු ඉදගෙන වුන් තැන ඉඩක් පෙන්වා ඉදගන්නට කීවේ ලොකු අය්යා කෙනකු මවුපියන්ට හොරෙන් නංගිලාගේ සුරතල් කැමැත්තට ඉඩ දෙන ලෙසය. ඉතින් කබිලන් අයියා අපේ නොවේ යැයි කිව හැකිද?
ඉන්පසු ඩෙල්ෆ්ට් ගමනේදී එහි නවාතැන්ගත් පල්ලියේ ඉඩමේ තිබූ මිටි කුරුම්බා ගසකින් හොරෙන් අපි කුරුම්බා කඩා බී ඇතිවග දැනගත් විටද කබිලන් අයියා අපේ හොරකමට හිනා වී සහය පලකල අතර ඒ පිලිබද ගුරුවරුන් කිසිවෙකුටත් නොකීවේය. අපේ නඩයට එවකට පළමු උපාධිය හැදෑරු පිරිස මෙන්ම එවකට පශ්චාත් උපාධිය හදාරමින් වුන් ඉෂංක මල්සිරි, ඩිලාන්, මෙන්ම නිරුපමා අබේරත්න යන සොයුරු පිරිස හා අපේ පුරාවිද්යා අංශයේ ගුරුවරු ඒ ගමනට එක්විය විය. සශිතා අක්කාද අපි සමග හරි හරියට මුළු රෑම අපේ පිස්සු විකාර වලට සහය දුන්නීය. ඇයගේ දුපට්ටාව අපි සෙල්ලන් නටන්නට ගත්තෙමු. ඇගේ මොට්ටු පැකට්ටුව අපි උදුරාගෙන අපේ නළලත සරසා ගත්තෙමු.
නාගදීපය වඳින්නට ගොස් එහි කෝවිලෙන් දවල් බත භුක්ති විඳි අපි ජීවිතයේ මුල්වරට පත්කොල වලට බෙදු ප්රමාණයෙන් විශාල වූ ඇට සහිත බතුත් වට්ටක්කා දැමු සාම්බාර් හොද්දත්, එහිම සැකසු පපඩම් කෑවෙමු.එහි බත් ඕනෑතරම් කන්නට තිබුණු අතර ඒ විශාල වලං වලට රෝද සවිකර තිබුණි. අදටද ඒ මතකය රැගත් චායාරූප අප අතර හුවමාරු වේ. එදායින් සමු ගත්තද විශ්ව විද්‍යාලයෙන් නික්මුනද කබිලන් අයියාට මගෙන් ගැලවෙන්නට ඉඩක් නොවුනි. නැවත 2011 වසරේදී මම මාධ්යවෙදිනියක ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මාධ්ය චාරිකාවට සහභාගී වනදා යාපන කොටුවේ දී නැවත කබිලන් අයියා හමු වීම කබිලන් අය්යාගේත් මගෙත් සහෝදරත්වය වැඩි කරන්නක් විය. එතැන් පටන් අවුරුදු දහයක් ගෙවුනද කබිලන් අයියාට යාපනේ යන හැම විටම කරදර කරන්නෙමි. යන එන ගමන් බිමන් වලදී පමණක් නොව යාපනයේ සොයා ගතයුත්තක් වේනම් ඊට වන්දි ගෙවන්නේ ද කබිලන් අයියාය.
දැන් අපේ යාළුකම ශක්තිමත් කරන්නට තවත් පුරුකක් පැමිණ ඇත. ඒ කබිලන් අයියාගේ නෝනා මහත්තයාය. කාර්තිකා නම් වූ ඇය ඇතැම් විට කබිලන් අයියාට චෝදනා කරන්නේ ඔයා මෙයාට උදවු කරනවා මදි බව පවසමිනි. කෙසේ වුවද ඇය රස ලුණු දෙහි හදා දෙමින් තමන්ගේ ආදරය නිර්ලෝභීව බෙදා දෙන්නීය. පහු ගිය දිනෙක කබිලන් අයියා ඇතුළු පවුලේ සැම කෞතුකාගාරය බලන්නට පැමිණියහ. ඊට පෙර දිනෙක කබිලන් අයියා මට කීවේ කටුගේ බලන්නට එන බවය . එන විට මට කියන්න යැයි කීවේ ඔවුන්ගේ ප්‍රවේශ පත් මා විසින් රැගෙන් දියයුතු වග සිතමිනි . එහෙත් කබිලන් අයියා මට ඒ බව ප්රකාශකරන ලද්දේ පවුලේ සියලු දෙනා කෞතුකාගාරයට ඇතුළු කිරීමෙන් පසුවය.
යාපනේ යන යන වාරයක් ගානේ ඔහු අපට උදවු කලද ඔහු කිසිසේත් අපෙන් ඊට ප්‍රථි උපකාරයක් බලාපොරොත්තු නොවේ.ඕනෑම මොහොතක දුරකථන ඇමතුමකට සම්බන්ධවන කබිලන් අයියගේ මුවේ ඇති නොමැකෙන සිනාව හැමවිටම දුරකථන හරහාද අපිට කියාපාන්නේ හිනාවෙන් ගැස්සෙමිනි . අදත් හෙටත් ඒ ආදරණීය සහෝදරත්වය අපෙන් දුරස් නොවනවග සක්සුදක් සේ පැහැදිලිවා පමණක් නොව මගේ ආදරණීය යාපනයේ ආදරනීයත්වයට ඔහුගේ සහෝදරත්වය තරු ලකුණකි. ඉතින් කෙසේනම් යාපනය කෙරේ ඇති ආදරය මගේ හිතින් අඩු වේවිද?
සේයා - නිරුපමා අබේරත්න , අර්ජුන සමරවීර