Monday, January 31, 2022

06. මගේ යාපනය 06 - ආදරණීයම උපකුලපති - බරැති හදක දණ නැවීම

 


යාපනය යනු තරු පිරුණ අහසකි .ආදරණීයම මිනිස් හිත් දිවා රෑ නොබලාම වෙනසක් නැතිව දිදුළන අහසකි. අහස දුරක හිඳ බලා උන්නද හිත පිරෙන අහසකි. මගේ යාපන ප්රේමයට විටින් විට නැවුම් සිතිවිලි රැගත් යාපනේ පායන තාරකාවන් හමු වීම මගේ හිතට එක්වරම ඇතිකරන්නේ දරාගන්නට බැරිතරමේ සතුටකි. මා කරනලද පිනක් පල දීමකි. මේ යාපනයේ කතාව හදිසියේ ලියන්නේ ලිවිය යුතුම මනුෂ්යත්වයේ තාරකාවක් ගැනය. මේ කතාව මගේ යාපන සිහිනයේ පේලි පැන ලියන්නට හිතුනේ මේ කොරෝනා වසංගතය මගේ ජීවිතය සන්තකයට ගතහොත් මේ කතාව ලියා යන්නට අවස්තාවක් නැතිවන හෙයිනි. යමෙකුට ගරු කලයුතුද ආදරය කලයුතුද එය නොසගවා ප්රකාශකළ හැකි විය යුතුය. මේ මගේ ආදරයයි. මේ කතාව දකින කියවන ලෝකයේ උගතුන්ගේත් සියලු අධ්යාපන ආයතනයන්ගේත් ඇස් පුදුමයෙන් විශාල වනවා පමණක් නොව කඳුලින්ද තෙත්වන කතාවකි. කතාව පටන්ගන්නේ පහුගිය වසරේ යාපන සරසවියේ පැවැත් වූ උපාධි ප්රධානෝත්සවය සමගිනි.

පුරුද්දට මෙන් මූණු පොතේ ඉහල පහල ගිය මගේ නෙත් එක්වරම එක පෝස්ටුවක නතරවිය . එහි වූවේ නිල් පැහැ ලෝගුවක් දැරුවෙකු රෝද පුටුවකින් පැමිණි තරුණයකු අසල දණගසා සිටින අයුරුය. මම තවත් හොදින් බලන්නට වීමි. සමගම තවත් වීඩියෝවකි. මගේ දෑස කඳුලින් තෙත්කල, එහෙත් එය මට දැකගන්නට තරම් පින් කර තිබුය යුතු දසුනකි. එහි දැක්වෙන්නේ උපාධිය ලබාගැනීමට රෝද පුටුවෙන් එන ශිෂ්යයා ලං වෙත්ම කොවිඩ් අවධානමද අමතක කල යාපනය සරසවියේ උපකුලපතිවරයා උපාධි මාලය රැගෙන එම ශිෂ්යයා ඉදිරියේ දණගසා ඔහුට මාලය පළඳවා ඔහුව සිප ගැනීමයි.. හීනෙකින්වත් මෙවැන්නක් බලාපොරොත්තු නොවූ ශිෂ්යයා සතුටු කඳුළු සැලුවේය. කඳුළු පිසදා ඔහුව සනසන්නට උප කුලපතිවරයා අමතක නොකළේය. මම දන්නා පරිදි තම ශිෂ්යයෙක් ඉදිරියේ මෙලෙස දණගැසූ ලොව ප්රථම උපකුලපතිවරයා ඔහු වන්නේ ලොව නිහතමානී උපකුලපතිවරුන්ගේ නම් ලයිස්තුවේ මුලටම තම නම ගෙන එමිනි. දණගැසීම එම ශිෂ්යයාට ලැබුණු තවත් ගෞරව උපාධියක් වනවා මෙන්ම ඔහුගේ අබාධිත බව හේතුවෙන් ඔහු වින්ද සියලු වේදනා එම මොහොතේම අමතක වන්නට ඇත. නමින් ඔහු මහාචාර්ය සිවකොලුන්දු ශ්රී සත්කුන්රාජ්ය.( Prof; Sivakolundu Srisathkunarajya). ඔහුගේ නමේ තේරුමට තරම් ගැලපෙන චරිතයකුත් චරිතයට ගැලපෙන නමකුත් වෙන කොහෙන්වත් සොයා ගැනීමට නොහැකිවනු ඇත


පහු ගියදාක යාපනයට ගිය විටක මට ඔහු හමු වීමට අවස්තාවක් ලැබුණ අතර ඔහු කෙරේ වූ ගරුත්වය තව දුරටත් වැඩි වූවේ ගරුත්වයේ කිරණ මුළු යාපනයටම පතුරවන්නට තවත් හේතුවක් විදාලමිනි. තරම් නිහතමානිකමක් මම ඔහුගෙන් බලාපොරොත්තු නොවුනෙමි. ඔහු සමග ඔහුගේ කාර්යාලයේ සුහද කතාබහකට මුල පුරන්නට මට හැකිවිය . ගුරුවරු යනු දෙවිවරු වගට ඔහුගේ කතාබහ හැසිරීම නැවත වරක් මට පසක් කරන්නට විය. ඉතින් මම ආඩම්බරයෙන් ලෝකයට හඬගා කියන්නේ මේ මගේ යාපනයේ ප්රහර්ශයයි.

උදේ සිට රාත්රී දහය එකොළහ වනතුරු වැඩ කරන "සත්කුන්රාජ්" නම් උපකුලපතිවරයා ලෝකයේ සියලු උපකුලපතිවරුන්ට නැවත වරක් හිතන්නට යමක් ඉතිරි කරන්නේය.. පහුගිය දිනක මට මගේ ගුරුවරයකු වන පේරාදෙණිය සරසවියේ හිටපු මහාචාර්ය පියතිස්ස සේනානායකයන් හා කතාබහ කරන්නට ලැබුණි. අතර තුර   "සර් දැකල තියනවද කවදාහරි උපාධි උත්සවයකදී උපකුලපති කෙනෙක් විද්යාර්තයෙක් ඉස්සරහ දණගහනවා"

"නෑ මම කවදාවත් දැකලත් නෑ. අහලත් නෑ." මම පියතිස්ස සර් යාපනයේ සිදුවීම කීවෙමි. ඔහු එය අසා පුදුම වූවේය

"කලාතුරකින් හරි එහෙම මිනිස්සු ඉන්නවා මේ ලෝකේ ඉතුරුවෙලා" මගේ ගුරුවරයා සතුට ප්රකාශකළේය.

යාපනයේ ඉගන ගන්නට එන ශිෂ්යයන්ට සිංහල සිසුන්ට ඔහුගේ ආදරය මහා සෙවනැල්ලක් වග කීම අතිශයෝක්තියක් නොවන්නේ මම දෑසින්ම ඔහුගේ මානුශීයත්වය අත්දුටුව හෙයිනි. මෙහි සිංහල දෙමල සිසුන් අතර ප්රස්නයක් ඇතිවන්නට යන හැම විටම ඔහු අතර මැද හිටගන්නේ පියකු මෙනි. ඔහුට ජාති ආගම් බේදයක් නැත. ඔහුගේ විෂය ගණිතය වුවද ගණිතය ඔහු තරම් හොදින් යාපනය සරසවියේ ගැටළු විසදන්නට යොදා ගන්නා වෙනත් උපකුලපතිවරයකු නැත. "යාපනයට එන හැම ශිෂ්යයෙකුම යාපනේ ඉගනගන්නවා කියන්නේ ආඩම්බරෙන්. නිසා තමයි විශ්වවිද්යාලෙ නම ගහපු ටී ෂර්ට් ආඩම්බරෙන් අදින්නේ"  ඔහුගේ ආදරණීය වචනය. ආචාර්ය උපාධි ද්විත්වයක් හිමි ඔහු දක්ෂ ක්රිකට් ක්රීඩකකයකු, ගුරුවරයකු මෙන්ම සාර්ථක උපකුලපතිවරයකුවේ. වූ ඔහු ගැන පොතක් වුව ලියන්නට හැකිය. එහි සිටිනා සිංහල සිසුන් ඔහුට පුදන ආදරය සමගිනි. ඔහුට ජාති ආගම් බේදයක් නැත. ඔහු ඉන්නේ එවැනි සරල බෙදීම් සහිත අඳුරු සමාජයෙන් ඉහල ආලෝකය පතුරන තැනකය. උගත්කමත්, බලයත්, මනුෂ්යත්වයත් එකට එක් වූ තැන දෙවිවරු පහලවනු ඇත.

යාපනය සරසවිය මා උගත් සරසවිය නොවුනද මේ මා පෙම් බැඳ සිටින ලංකාවේ අනෙක් සරසවියයි. ඉතින් එහි සිදු වූ මෙවන් දුලබතම සිද්ධියක් මගේ යාපන ආදරයට තවත් උඩුවියනක් නොවන්නේද ?

හොදම මිනිසුන් හොදම විදියට හමුවන්නේ මගේ යාපනයෙනි. ඉතින් එවන් පිදියයුත්තකු වෙනුවෙන් කවියක් නොලිය ඉන්නේ කෙලෙසද?

කඳුලකට කඳුලක්

හමුවෙනා තැනකදී බෝසත්

ලෝකයේ හදවත

නවතීවි මොහොතක්

දනගසන විටකදී

මනුෂ්යත්වය පාමුල

කෛලාශ කූටයත්

හිස නමයි කොහොමත් .

ආදරේ කොතනද ගෞරවය එහි වෙත්

මෙවන් මිනිසුන් දකින දෙනෙතක්

පින් පුරා ඇත සසරෙත්

බිමට බර වුනු වී කරල් කවදත්

ලෙන්ගතුය පොළොවට

රැගෙන දයාවේ බලපත්

උගතයුතු ශිල්පයේ සිවු දිසා දක්වත්

හිරුසේම විශ්වයට පුදනු රිසි මනුසත්

ඉහල තනතුරු කිරුළු දිදුලවයි අහසෙත්

මෙවන් දුර්ලභ හැඟුම් කවදත්

පවසාවි ගුරු සුවඳ පත පොතෙන් එලියෙත්

චායාරූප -නගේශ්වරන් තිලීපන්

මම යාපනේ පෙම්වතිය

සඳරැසී සුදුසිංහ

මාතර ඉදන්

06. මගේ යාපනය 06 - ආදරණීයම උපකුලපති - බරැති හදක දණ නැවීම

  යාපනය යනු තරු පිරුණ අහසකි . ආදරණීයම මිනිස් හිත් දිවා රෑ නොබලාම වෙනසක් නැතිව දිදුළන අහසකි . ඒ අහස දුරක හිඳ බලා උන්නද හි...