Monday, October 11, 2021

01. මගේ යාපනය 01


යාපනය මගේ ය. මගේ ආදරය යාපනයයි. ලංකාවේ දකුණු කෙලවර දෙවුන්දර තුඩුවේ ‘’ හේවාවිතාරණ මාතෘ නිවාසයේදී ‘’ උපත ලැබූ මට යාපනය යනු දුර සිහිනයක් වූ අතීතය ගෙවී ගොසිනි. දැන් යාපනය මට හුස්මක දුරිනි. මගේ යාපනය ගැන ලියන්නට හිතුනේ අදක ඊයෙක නොවුනද දවසින් දවස ඒ අදහස කල් ගියේය. එත් දැන් මට යාපනය ගැන නොලියා හිදින්නට බැරිය. යාපනේ කෙරේ උපදින ආදරය මේ අකුරු අතර නටන්නට දඟලන්නට මගෙන් හුස්ම අයැද හිදී. මේ මගේ යාපනයට මගේ හුස්ම කියන කතාවයි.
මීට දශක තුනකට ඉහතදී මම කුඩා දැරියක වී ඉන්නා කල යාපනය යන වචනය මට ඇසුනේ මගේ නෑ හිතවතුන්ගේ කතා අතරිනි. ඒ යුද්ධය ගැන කියන කතාවලිනි. ඉන් අනතුරුව මම යාපනය ගැන මුල්ම රූපමය කියවීම ලබන්නේ පහේ පන්තියේ සිංහල පොතේ වූ පාඩම කියවීමෙනි. ‘’යාපනයේදී ‘’ යන මාතෘකාවෙන් රචිත එම පාඩම මට මෙන්ම මේ රටේ ඉපදී උතුර දකුණ ගැන සිතියමෙන් විතරක්ම දැන උන් අපේ කාලේ සියලු දෙනාටම යාපනය යන මූලික අකුරු හතර පෙරටු කොටගත් , එක සංකේතාත්මක නගරයක් පමණක් නොව තවත් ආදරණීය සංස්කෘතියක් උරුම කොට ගත් ( මා මෙහිදී යාපනය යනුවෙන් දක්වන්නේ යාපන අර්ධද්වීපය පමණක් නොව සමස්ත දෙමල ජනතාව හා ඔව්න්ගේ සංස්කෘතියයි) මේ රටේ ආදරණීයයන් වගත් ඔවුන් අපගේම සහෝදර ජාතිය වග කියන්නටත් ලියන ලද අසිරිමත් පාඩම විය. සැබෑවටම එම පාඩම මගේ ජීවිතයට උගන් වූයේ දෙමල ජනතාවගේ ආදරයයි. එහි කතුවරයා මෙන්ම මෙම පාඩම පෙළ පොතට ඇතුලත් කරන්නට තීරණය කල යමෙක් වේනම් මම ඔවුන්ට හදවතින් නමස්කාර කරමි.
‘’ යාල් දෙවි දුම්රිය යාපනේ දුම්රිය පොලට ලඟා විය.වෙලාව සවස දෙක හමාරට පමණ ඇත. අම්මාත් , තාත්තාත්, අමරත් ,මමත් නිවාඩුවක් ගත කිරීමට දුම්රියෙන් යාපනයට ගියෙමු.’’ පහ වසරේ සිංහල පෙලපොතේ 11 වන පාඩම එසේ ආරම්භ වී තිබිණ. රාධා, මාධවන්, ආඩියා ලිඳ ,උළුඳු වඩේ, තල් වැට, කොට්ට කිලංගු , නල්ලුර් කෝවිල ආදී වචන අපේ පුංචි හිතට ගෙනාවේ මේ අපේ රටේම කොටසක් පිලිබඳ කියවන විට නැගෙන හැගීම් නොව කවදාවත් අපිට විඳින්නට නොලැබෙයි කියා හිතෙන ඒ පිලිබඳ දුක් සංකාවක් මුසු හැගීම් පමණකි. පෙල පොතෙන් මා දුටු යාපනය මගේ හිතේ කොනක් සින්නක්කරයටම අල්වා ගෙන උන් වග එදාට වඩා මට තේරෙන්නේ දැන්ය. (ඒ ඇල්ම කොපමණද යත් මෑතකදී බොහෝ වෙහෙසක් දරා ‘’රියෝ සගරොක්ස් ‘’ සහෝදරයා ලවා අන්තර්ජාලය ඔස්සේ එම පාඩම සොයා යළි කියවීමි. මාතර මහමායා බාලිකාවේ පහේ පන්තියේ වුන් දගකාර කෙල්ල නැවත මට හමු වූවේ ඒ පාඩම කියවද්දී ය.)
මටත් යාපනේ නෑදැයෝ සොයා ගැනීමට ඕනෑකමක් විය. යාල් දේවියෙන් යාපනේ යන්නට අවැසි විය. ටික ටික වයසින් වැඩෙත්ම මේ යාපන ගමන සිරීපාදේ යන තරම්ම ලේසි නොවන බවත් එය කවදාවත් සැබෑ නොවන ආශාවක් වග මගේ හිත අකැමැත්තෙන් වුවද තේරුම් ගනිමින් තිබිණ. මගේ කුඩා අවදියේ අප ජීවත් වූයේ මාතර දුම්රිය නිල නිවාස වලය . උදේ හවා අප දකින දුම්රිය එන්ජින් වල සඳහන් නම් කියවන අපිට "පේදුරු තුඩුව, කන්කසන්තුරෙයි" යන නම් නුපුරුදු නොවීය. එහෙත් සිතියම් පොතෙන් දැක ඇති පේදුරු තුඩුව දකුණේ දෙවුන්දර තුඩුවේ ජීවත් වූ අපට ලංකාවේ දිග මැනීමේ ස්ථාන දෙකෙහි නම් මිසක් මේ අපේ රටේ අපි සියලු දෙනාම පය තැබිය යුතු බිමක් වග අමතක වී තිබිණ. පේදුරු තුඩුව යනු සුරංගනා ලෝකයක ඇති දෙයක් ලෙස සරල හැගීමක් අප තුල විය. එහෙයින් හැබෑවටම යාල් දේවියෙන් යාපනේ යෑම ගැන හිතීමම නින්දේ දකින හීනයක් විය. ශිෂ්‍යත්ව පන්තියේදී ගුරුවරයෙක්ගෙන් දෙමල හෝඩිය ඉගන ගැනීම මිසක් ඉන් එහාට අපි මාතරදී දෙමල කිසිවෙකුත් දැක තිබුනේ නැත. එවකට දෙමල ඉගැන් වූ ගුරුවරයාගෙන් යාපනය පිලිබඳ අහන්නට දැනුමක් තේරුමක් අපට තිබුනේද නැත. ඒ ගුරුවරයා කවදාවත් උතුරට ගොස් තිබුනා දැයි මම දන්නෙත් නැත. රූපවාහියෙන් දකින දෙමල සංස්කෘතිය හැබෑවටම විදින්න්නට අවුරුදු ගානක් ඉවසන්නට මට සිදුවිය.
එවකට මාතර දුම්රිය පොළ පාරේ පිහිටි හින්දු කෝවිලද වසා දමා තිබුනේත්, මෙහි වූ සියලු දෙමළ මිනිසුන් මාතරින් පිටවගොස් තිබුණේත්, නිවසේදී නිතර කියවෙන දොස්තර නාගරාජා තමන් ගොඩ නංවූ පෞද්ගලික රෝහල තම මතකයට ඉතිරිකොට ලංකාවෙන්ම සමුගෙන දුරු රටකට ගොස් තිබුනේත් අසූව දශකයේ වූ දෙමල සිංහල කෝලාහලවල අඳුරු ප්රතිපලයක් ලෙසිනි. "ගාල්දියද", "බාල්දියද" අසමින් කුළල් කාගත් මිනිසුන්ගේ කියුම් කෙරුම් අසත්ම මගේ හිත තව තවත් නොදැකපු යාපනයටත් දෙමල ජනතාව කෙරෙහිත් නැඹුරු කරවන්නට ඇත. ඒ කාලේ මේ යාපනය කෙරේ වූ ප්රේමයට එකමෙක පියාපතක් හෝ සවි කරගන්නට හැකි වූවේ විශ්වවිද්යාලයට යාමේ ප්‍රථිපලයක් ලෙසිනි. උතුරෙනුත් කඳුකරයෙනුත් මදි නොකියන්නට ආදරණීය දෙමල සහෝදරත්වය හමු වුනේ එහිදීය . ඒ හමුවේ මතක තවත් දවසකට ඉතිරිකරමි. එතෙක් ඔබේ හිතේ යාපනය තැන්පත් වී ඇත්තේ කවර හැගීම් තට්ටුවේදැයි අතගා බලනු මැන.

දෙමළ සර් වෙත ගෞරවයෙන් ....
මාතර බ්රොඩ්වේ පාරේ
එදා සිස්සත්ව පන්තියේ
දෙමළ ඉගැන්වූ
සිදම්බරන් සර්,

ආනා ආවන්නා
ඊනා ඊයන්නා
ඔන්රු ඉරන්ඩු
ගැනම නොකියා
ප්‍රශ්න පත්තරෙන් පිට පැන
කිවුවානම් මොකද
දෙමළ හෝඩියද
හුස්ම ගන්නා වග ...

දුටුවේම නැත මම
දෙමළ අකුරක උණ්ඩි වී වුන්
දුර දකින කැඩපත
දෙමළ යෙහෙලියකුදු
හිටියෙ නැති එකළ,

අදත් අපි අසරණව
කරච්ච්චල් රාමුවක
සිරව වැළපෙයි
අපි නොඇදී චිත්රෙකට
පාට සායම් සොයමින් ....

සංහිදියාවේ තණපත්ද වේලි
අන්ධ හිරු එළිය යට
කියවා ගනු බැරිව දෙමළ හෝඩිය
මෙන්ම දෙමළ හදවත් ද
නාදුනන බසකින්
වැටෙන කඳුලක
තබමි එක පොට්ටුවක්
සිනහවක පාටින්
පතා එක පැතුමක් යන්නට සිතා
යළි පහේ පන්තියට
මුල ඉදන් අහන්නට
උතුරු සුළගේ නෑකම ....
ඒ තමයි සුබ නැකත
අපි ඔක්කොම පාස් වෙන....

මම යාපනේ පෙම්වතිය
සඳරැසී සුදුසිංහ
මාතර ඉදන්
sandaraseepriyathma@gmail.com

21 comments:

  1. ඔබ දැකීම සතුටක්...

    ReplyDelete
  2. අපූරු සටහන් පෙළක් වෙයි කියල හිතනව. ආරම්භය අපූරුයි. මේ ගැම්ම දිගටම තිායේවා යැයි ප්‍රාර්ථනා කරනවා ❤️

    ReplyDelete
  3. ස්තුතියි ඔබට

    ReplyDelete
  4. අපූරුයි. බොහොම අපූරුයි!
    යාල්පානම් මගෙත් කැමතිම තැනක්.
    පොඩි මිසීට කියන්ඩ, රාධා, මාධවන්, ආඩියා ලිඳ ,උළුඳු වඩේ, තල් වැට, කොට්ට කිලංගු , නල්ලුර් කෝවිලට අමතරව, යාපනේ ගියාම හමුවෙන බොහොම විශේෂ දේවල් තියෙනවා. ඉදිරියට එව්වත් බලාපොරොත්තුවෙන්,

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  5. අන්සතු දිනපොතේ අමිලගෙ පෝස්ට් එකකින් දැණගත්ත විදිහට, රසම රස අයිස්කිරින් තියනවලු. යාපනේ ඉඩ්ලි රසට, මෙලෙකට ඇති නේද? මම ඉන්නෙ, මේ සාවියෙ තියෙන "පුංචි යාපනේ". දාලා නොයන්නෙ කෑම හින්දම තමා. මේ යාපනේ තල්ගස් වල බස්සොත් ඉන්නවද?🙏👌🤔

    ReplyDelete
    Replies
    1. ලිවීම තුල මා සිටියත් බ්ලොග් යන වේදිකාව තුල මා ආධුනිකය! එනිසාම ඔබලාගේ වටිනා අදහස් වලට මා කෙටි පිළිතුරු සපයා ඇත. ඉඩ ලැබුනු විට මමත් ඔබලාගේ බ්ලොග් වලට එබෙන්නම්. දැනට මා බොඩි පහේ විභාග දෙකක පැටළිලා ඉන්නේ. ඒ නිසාම විවේකය අඩුයි. මම ඔබලාගේ බ්ලොග් වලට අදහස් නොලිව්වාට අවුලක් ගන්න එපා! ඒ අවි වේකී බව නිසාමයි!
      ඔව් බසු තුමා එහේ රසම රස අයිස් කිරින් තියෙනවා. යාපනේටම සුවිශේෂී ඒවාත් තියෙනවා. නිකං ඉන්න වෙලාවක ඒ පැත්තේ පියාඹා බලන්න!

      Delete
    2. හදිස්සියක් නෑ. විභාග දෙකකටම ජය!
      ඔහොම යං:)

      Delete
    3. බසු තුමා! හැම සතියකටම නැත්නම් දවස් දහයකටම එකක් හෝ ලිපි පල කිරීම මාගේ අදහසයි. ස්තූතියි ඉවසීමට! අපිනම් හිතුවේ බස්සන් යනු ඉවසන්න බැරි ජාතියක් කියලා!

      Delete
    4. මම මූකලං බස්සෙක්. සඤ්ඤක පක්සියා, උණු වතුරත් නිවලයි බොන්නෙ. කන්නෙ චෙරි, බෙරි.වැයින් විතරමයි බොන්නෙ.😂

      Delete
  6. Replies
    1. ප්‍රසන්න! ඔබගේ නම තුලට දෙමළ අක්ෂරයක් යොදා ගැනීමෙන්ම; සහජීවනය පිළිබඳව ඇති නැඹුරුව මනා කොට පෙනේ!

      Delete
  7. අපූරු ලියමනක් සහ නිසඳැස් පෙළක්.

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිණීමම ගෞරවයකි!

      Delete
  8. සුබපැතුම්, දිගටම ලියමු. ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලී! මට ඔයාලගෙ බ්ලොග් වලට එන්නට බැරි උනාට අවුල් වෙන්න එපා! මට ඊට පොඩි කාලයක් ඉඩක් දෙන්න!

      Delete
  9. තට්ට මහතාගේ ඉව පාරේ ආවෙමි. දිගටම බුරන්න එන්නෙමි.
    එකම රටේ, ඒත් කිසිදිනක දකින්න වාසනාව අහිමිවූ දේශයක්. පට්ට රහයි.🤗😊

    ReplyDelete
    Replies
    1. හුටා! කෝ මේ තට්ට මහත්තයා? මට පණිවිඩේ කියල, එයා ලිස්සල නේද? ලියවිල්ල නං, හොඳ මෙලෙක ඉඩ්ලි සහ චට්නි වගේම රහයි.

      මස්කටු නැහ්ද මස්කටු?

      Delete
    2. යාපනේ බහුතරය මස් මාළු වලින් තොර ආහාර බැවින් මස් කටු ලබා දීමට නොහැකි වීම පිළිබඳව ටොමියාට මගේ කණගාටුව!

      Delete
    3. දෙන්න එපා ඔය බලුනකුටට මස්කටු. නැති වුනාම, හොඳට ගිලිනවා පාං බාගෙ.😂

      Delete

06. මගේ යාපනය 06 - ආදරණීයම උපකුලපති - බරැති හදක දණ නැවීම

  යාපනය යනු තරු පිරුණ අහසකි . ආදරණීයම මිනිස් හිත් දිවා රෑ නොබලාම වෙනසක් නැතිව දිදුළන අහසකි . ඒ අහස දුරක හිඳ බලා උන්නද හි...