Wednesday, December 1, 2021

5. මගේ යාපනය 05 - යාපන සරසවියේ සිංහල සහෝදරත්වයට ආදරයෙන් ලියන වගනම් !


ආදරය ඇත්තේ කොහිද ජීවිතය ඇත්තේ එහිය. යාපනය හා බැදුණු ප්රේමයද මට ජීවත් වෙන්නට හිනාවෙන්නට විශේෂ වරයක් දී ඇත. ඒ වරය මම සතුටින් ඉන්නත් මේ රටේ යලි ලේ සෙලවීමක් නොදකින්නට සිහින දකින්නන් වෙනුවෙන් ආදරේ කරන්නට යොදා ගනිමි. කොරෝනාව හෝ දෛවය ඒ සදහා මට ජීවත්වීමේ බලපත්රය කොපමණ කාලයකට නිකුත්කර ඇත්දැයි නොදන්නා නිසාම හැකි ඉක්මනින් මගේ හීන ඉවකර බලන්නට තීරණය කරමින් සිටිමි.

මිනිසුන්ට යුද්ධ කරන්නට ලැජ්ජාව බිය නැතත් අපි ආදරේ කලයුත්තේම දසදහසක් වැටකඩොලු අතොරව මධ්යයේය , සිහින මිලට ගන්නට බැරිය. සිහින අපේ නමට ලිය වෙන්නේ අපේ ඉපදීමත් සමගය. යාපන හීනයත් එසේය. සැබෑ නොවුනද අවම වශයෙන් සිහින වලට එබී බලන්නට හැකි වීමද වාසනාවකි. ඒ සිහින සිහිනේකම තබා වත්පිළිවෙත් කරමින් සිටි. අවධියේදී ශානිකා ලක්මාලි නමින් සහෝදර කිරිල්ලියක් යාපනයේ සිට මාවෙතට පියාඹා ආවාය. ඇය මට මගේ ගමනට පියාපත් රැගෙන ආවාය. ඇය මගේ හීන ඇගේ කර ගත්තාය. වෙනදට වඩා මගේ යාපනය මට කිට්ටුවී ඇතිවග දැනුණි.
එකවරම ඇය ඇතුළු මගේ යාපන පවුල මට හම්බ වුනේම මගේ හීන පසුපස දුවද්දීය. මගේ ආදරය, මගේ විශ්වාස, මගේ හිනහව, මගේ හීන, මගේ දුක සියල්ල නුබලාගේම වූවේ කවර පිනක් පල දීමෙන්දයි මා නොදනිතත් එය මට ලැබුන නිධානයකි. මගෙන් කිසිවක්ම බලාපොරොත්තු නොවන ඔබ සැම මට සෙවනැල්ලක් වෙන්නේ මටත් මාව පුදුමයක් කරමිනි. කොකුවිල් කෝවිලේ දුටු දේවතා එලිය මම ගැන ඉඟි කල බව කියන්නට , හිතන්නට තරම් ලෙන්ගතු හිත මට කොහෙන් හමු වූවාදැයි මම නොදනිමි. ආදරේ තියෙන්නෙම යාපනයේය. ඉතින් මට මගේ ජීවිතය යාපනය වෙනුවෙන් පුදන්නට හැකිය. මගේ හදවත නමැති ඉඩමෙන් වැඩිම ප්රමාණය යාපනය අල්ලා ගෙන ඇත්තේය. ඒ තේසවලාමෙයි නීතියේ කවර වගන්තිය අනුවදැයි මම නොදන්නෙමි. එහෙත් මා මගේ හිත තෑගී ඔප්පුවකින් යාපනයට පවරාලමි.
ආදරය දෙනතරමටම ආදරය ලැබීමේ න්යායට මගේ යාපන පවුල තරම් වෙනත් උදාහරණයක් නැති තරම්ය. මම නුඹලාට අම්ම කෙනෙක් වන්නට උත්සහ කරන්නට හිතන්නට පෙරම නුඹලා මට මව්පියන් වන්නේ මට මහා ලෝබකමක් එකකරමිනි. මේ හැටි ආදරය ලබන්නට තරම් මම වටින්නේද යන පැනය මා විසින් මගෙන්ම විමසන අවස්ථා ඕනෑතරම්ය. මම නුඹලා සොයාගෙන අවේ ආදරය ලබන්නට නොව යාපනයට ආදරය පුදන්නටය. අපි සමාන වන්නේම ඒ එකම මතයක ඉන්න නිසාමය. අපිට යුද්ධයක් ගැන ඇත්තෙම අපුලකි. අපි ආදරය බෙදන්නෝ වෙමු. යාපනය යනු අපේ ආදරයේ සංකේතයයි. අපි රාජ්ය නොවන සංවිධානයක අතු ඉති නොවෙමු. අපි මනුෂ්යත්වයේ මහා සංවිධානයේ නිලලත් සාමාජිකයන්ය. නුඹලා මේ යාපන මහා සංස්කෘතියේ අව්යෝජනීය කොටස්කරුවන් වී හමාරය. ඉන් නුඹලාට පැවරෙන මහා වගකීම මරණයෙන් මතු කර මතින් බිම තබන්නට නුඹලාට නොහැකිය. සමස්ත පීඨයන්හි අධ්යාපනය ලබන සහෝදරත්වයට මේ වගකීම පැවරී ඇත.


නිදහස් අධ්යාපනය නුඹලාට දෙවුලොවේ මාවත පෙන්වා ඇත. දෙවුලොව දැක දැක ජාතිවාදී කඩපිල් ගානේ රස්තියාදු ගහන්නට නුඹලාට බැරිය. ලංකාවේ අනෙක් විශ්ව විද්යාලවලට යන සියලු විද්යාර්තින්ට වඩා වැඩි වගකීමක් විශ්වායක් මේ විශ්වය නුඹලා කෙරෙහි තබා ඇත. ඒ නුඹලා සතුව විශේෂ ශක්තියක් ඇති වගට විශ්වය විශ්වාසකොට ඇති නිසාය. ඒ තෝරාගැනීම පිලිබඳ සරලවම තවත් විදියකින් කියන්නේ නම් මේ ‘’ සාම ධූත මෙහෙවරකි’’
නැවත මේ රටේ සිංහල දෙමල කෝලහල යුද්ධයක් ඇතිවන්නට ඉඩක් නොතිබීම නුඹලාගේ ප්රධාන වගකීම බව යාපන විශ්ව විද්යාලයෙන් ලබන උපාධි සහතිකයේ පිටුපස නොපෙනෙන අකුරින් ලියා ඇත. ඉතින් දැන් ඒ කතාවේ කොටස්කරුවන් වන නුඹලාට කර අරින්නට බැරිය. එසේ කර අරින්නටනම් උපාධිය අමතක කල යුතුය. යාපනය යන වචනයවත් මතකයේ තියා ගන්නට නුඹලාට අයිතියක් නැත. මේ සියල්ල කීවද දැන් අපි හන්තානට ආදරේ කරනවාටත් වඩා නුඹලා යාපනේට ආදරේ කරනවග මම සහසුද්දෙන්ම දනිමි.
මේ උදාවෙන්නේ අතීතයේ මෙරට සිංහල දෙමල ජනයා අතර වූ සහෝදරත්වයේ නිවුන් පාලමය. එහිම චායා පිටපතකි. භාෂාව යනු බෙදා ගන්නට මරා ගන්නට ලැබුණු වරපතක් නොවන වග නුඹලා අපි කාටත් වඩා තේරුම් ගෙන ඇත. යාපනය විශ්ව විද්යාලයේ භාගෙට භාගයක් ඉන්නේ සිංහල බස කතාකරන්නන්ය. ඒ හැමෝටම යාපනේ සහෝදරකම්, මිත්රකම් සේම ආදර සබදකම් යන කුමන වර්ගයක හෝ සබදතාවක් ඇත . ඒ හැම සබදතාවක්ම මෙරට ජාතිවාදී අරගලයකට පිවිසීම මොහොතකට හෝ ප්රමාද කරනු ඇත.
මගේ යාපනය තුල හමුවූ ආදරණීයයන් අතර උන් යාපනය සරසවියේ විද්යා අංශයේ ඉගනුම ලද ශානිකා ලක්මාලි , යාපන විශ්වවිද්යාලයට සාම ධූත මෙහෙවරට යන්නේ දකුණේ සිටය. ඇය එතැන් පටන් සරසවිය තුල සිංහල දෙමල සමගියට පාලමක් වූවේ ඒ දෙපිරිසටම ඇය නැතිව බැරි චරිතයක් වෙමිනි. ඒ ආදරයම ඇය මා කෙරෙහි පළකලේ ‘’ අක්කා ඔයා තව කලින් හමු වුනානම් හොදයි . ඔයාගේ හැම දේකටම උදව්වට මම කට්ටිය හොයල දෙන්නම්’’ කියමිනි. දුර්ග, සන්තෝෂ්, ලවන් ආදී දෙමල සහෝදරත්වය සේම කනිෂ්කා, මයුරි, උදිත, නීල්, යසාන්ගි, සිතුමිණි , සරලා, නෙලුම් ආදී මහා පවුලක් මට ලැබෙන්නේද ඇය නිසාය.ඔවුන් සියලු දෙනා කොකුවිල් දරුවන්ට ආදරය කර ඔවුන්ගේ ආදරය පොදි බැඳ දකුණට ගෙනෙන්නේත් මේ ආදරයයි.
ඒ සිතුම් පැතුම්, ආදරණීය බව රැඳී ශානිකා දකුණේ ඇඹිලිපිටියෙන් යාපනේට එවූ රන් ආභරණයකි. එසේම ජාතිවාදී මිනිසුන්ට පාඩමක් උගැන්වීමට විශ්වය විසින් මැවූ සාමයේ ජීව උන්ඩයකි. මොන කතා ලීවද මනුෂ්යත්වයේ පහන් සිළු අප වටා නැතිවිට ඒ ආදර කතා කියවන්නට නොහැකිවෙයි. ඒ අමනුශ්යත්වයේ අඳුරින් අපි වැසී යන නිසාය. ශානිකා ලක්මාලි නම් මැජික් යෂ්ටිය සාමයේ ගුවන් පාලම ඉදිකරනු ඇත. එහි මහා පාලමේ කොන්ක්රීට් කණු විය යුත්තේ යාපන සරසවි මාතාවගේ තුරුලට පැමිණි සිංහල බස කතාකරන නුඹලාය. දෙමල, සිංහල ශබ්ද කෝෂයකට කල නොහැකි දේ නුඹලාගේ එක හිනාවකට කල හැකි වග මං විශ්වාසකරමි.
අමතක නොකළ යුත්තේ නුඹලා විශ්වයේ විශේෂ තෝරා ගැනීමේ පරීක්ෂණයකින් සමත්ව යාපන විශ්වවිද්යාලයට පැමිණි වගය. ඒ ආශ්චර්යවත් තෝරාගැනීම නිෂ්පල නොවන වග ලංකාවම දැනගතයුතුය.
මේ සිවු වසරක උපාධියක් නොව සාමයේ මෙහෙයුමකි. නුඹලාගේ අරගලය යනු සාමයට පාහින්පත් තැබීමමය.
මගේ යාපන ආදරය උදෙසා ඇප කැප වන නුඹලා ලෝක සිත්සතන් කෙරෙහි සාමයේ පියාපත් පළඳන වග මම අදහමි. ‘’
මම යාපනයේ පෙම්වතිය
සඳරැසී සුදුසිංහ
මාතර ඉදන්
Sandaraseepriyathma@gmail.com


Friday, November 12, 2021

4. මගේ යාපනය 4 - කබිලන් අය්යා ....

 


පේරාදෙණිය සරසවියෙන් දකින්නට විදින්නට පැතූ යාපන සහෝදරත්වයේ හීනය මටත් නොකියාම වියැකී යමින් තිබිණ. අධ්‍යාපන කටයුතු සමග සටනක නියැලුණු අපිට හොරාම සරසවියේ වසර හතරෙන් තුනක්ම ඉක්ම ගොස් තිබිණ. කෙමෙන් අපි හන්තාන අඩවියේ ගතකරන සිවුවන වසරට පා තබා ගෙවී තිබුනේ මාස කීපයකි.වෙනදාටත් වඩා කාර්යබහුලව වැඩි වගකීම් සමූහයක් හිස මත පැටවෙමිනි. ඒ 2010 වසරේ මුල් කාර්තුවයි . කලකට පසු සතුටක සුළං රැල්ලක් හමා යමින් තිබිණ. ජීවිතයේ සැබෑ නොවේ යැයි තැවුණු හීනයට පාට බිදක් ලැබෙන්නට විය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ එම වසර ක්ෂේත්‍ර චාරිකාව යාපනයට යන බවට බවට නිවේදනය කෙරුණි. මීට වඩා සතුටක් තවත් කොයින්ද? දවස උදාවිය අපි යාපනයට ගමන් ඇරඹුවෙමු.
මහනුවර සිට යාපනය දක්වා A-9 මග දිගේ මගේ යාපන හීනය ගමන් කරමින් තිබිණ. යාපනය ලඟා වෙත්ම අපි හිටි ගමන් අඩියක් පමණ උඩ විසිවී නැවත අසුන මතට ඇද වැටෙමු. ඒ වනවිට එහි මාර්ග පහසුකම් බොහෝ දුර්වල තත්ත්වයක විය. අපිට ඒ ගැන වද වෙන්නට කාරණයක් නොවුණු අතර අපේ ඇස් අපේ යාපනය සොයා වෙහෙසෙමින් සිටියහ . එදා යාපනය ලඟා වනවිට හැන්දෑ වී තිබිණ. කොඩිකාමම් යනුවෙන් බෝඩ් ලෑලි දිස් වුන
ප්‍රදේශයේ ගෙදරකට අපි පැමිණියෙමු. හිනා මූණක් සමග තරුණයෙක් අපේ ගුරුවරු සමග හරි හරියට කතාකරමින් නිවසේ පිරිස සමග එකතු වී අපිට සංග්‍රහ කරන්නට විය. සූදුරු යහමින් දමා තෙම්පරාදු කල කවිපි සමග ආනමාලු කෙසෙල් හා කිරි වලින් සංග්‍රහ කල නිවසේ පිරිස පුදුමය තවරාගෙන අපිට පහසුකම් සපයන්නට විය. ඒ තරුණයා කවුදැයි අපි දැන නොසිටියද ඔහු එවකට පේරාදෙණියේ පුරාවිද්යා පශ්චාත් උපාධිය හදාරමින් හිටි සුබ්‍රමණියම් කබිලන් ය. ඔහු යාපන විශ්ව විද්‍යාලයෙන් පුරා විද්‍යාව විශේෂවේදී හදාරා තිබූණේය. ඒ යාපනයෙන් අපිට ලැබුණු මුල්ම මිත්‍රත්වයේ මානව ත්‍යාගයයි.

කබිලන් අය්යා ඉන් අනතුරුව අපේ ගමනේ කප්රුක වෙමින් සියලු වගකීම් වගවීම් දැරුවේය. හැමවිටම කබිලන් අයියාගේ දිදුලන දෑස් සහිත හිනාව ඔහු අපේ ලගම සහෝදරයකු වග කීවේය. එම චාරිකාවේදී අපි මුල්වරට යාපනය සරසවියට පය තැබුවෙමු. පුෂ්පරත්නම් සර් ඇතුළු පිරිස අපි ආදරයෙන් පිළිගත්හ. එදා යාපන විශ්ව විද්‍යාලයේදී ජීවිතයේ මුල්වරට අපි ඔරිජිනල් උළුදු වඩේ කෑවෙමු. ඒ පමණක් නොව දෙමල වචනයක්වත් කතානොකරද එහි කැන්ටිමේ කෑම කමින් සිටි පිරිමි සිසුන්ගේ කමිස පාට කියමින් අපි එකිනෙකා ඔවුන් අප වෙත බෙදාගන්නට වීමු. අදටත් අපි ඒ දවස ගැන මතක් කරමින් සතුටු වෙන්නෙමු. ඔවුන් දැන් කොහේ කාට අයිතිව ජීවත් වන්නේදැයි නොදැන උන්නද 2010 දිනෙක පේරාදෙණියේ පුරා විද්‍යා අංශයේ සිංහල බස කතාකරන කෙල්ලන් ඔවුන්ටද හොරා ඔවුන් අයිති කරගෙන තිබුන වග අදටත් නොදන්නවා ඇත. අපේ පිරිමි පාර්ශවය යාපනෙන් ගැහැණු ළමුන් තෝරා අපි මෙන්ම තමන් වෙත රහසේම ලියා තබා ගත්තාදැයි අහන්නට මට අමතක විය.
යාපන ගමනේදී අපිට හමු වූ යහළු පිරිස අතර කබිලන් අයියාගේ නැගණියන් දෙදෙනා සහ එවකට යාපන විද්‍යාලයේ සහකාර කථිකාචාර්ය වරියක වූ සශිතා සර්වේෂ් කුමරදෙවන් අක්කා ද විය. මුල් දිනයේ කන්තරෝදය ඇතුළු ස්ථාන ගණනාවක් දැක බලා ගත්තෙමු. එතුවක් පොත පතෙන් දුටු යාපන පුරා විද්‍යා ස්ථාන දෑසින් දුටුවෙමු. අපි පසුදා ඩෙල්ෆ්ට් බලා යන්නට ගියෙමු. ඒ ගමන යන්නට අපි යාත්රාවකට ගොඩ වූ අතර මටත් තවත් මිතුරියකටත් යාත්රාවේ ඉහල තට්ටුවේ ඉඅදගෙන යන්නට අවශ්ය විය. ඒ බව අපේ අංශාධිපතිව සිටි මහාචාර්ය ආර්. එම්. එම් චන්ද්රරත්න සර් ට කීවිට දැඩි සේ විරුද්ධ විය. ඒ අපේ ආරක්ෂාව සලකාය. අපි මූණු ඇඹුල් කරගතිමු. මද වෙලාවකින් සර් නොපෙනී ගිය පසු පසු බෝට්ටු තට්ටුවේ ඉද ගෙන වුන් කබිලන් අය්යා හිස ඔසවා අප දෙස බලා මදක් එහාට වී හිසෙන් ඉගිකොට ඔහු ඉදගෙන වුන් තැන ඉඩක් පෙන්වා ඉදගන්නට කීවේ ලොකු අය්යා කෙනකු මවුපියන්ට හොරෙන් නංගිලාගේ සුරතල් කැමැත්තට ඉඩ දෙන ලෙසය. ඉතින් කබිලන් අයියා අපේ නොවේ යැයි කිව හැකිද?
ඉන්පසු ඩෙල්ෆ්ට් ගමනේදී එහි නවාතැන්ගත් පල්ලියේ ඉඩමේ තිබූ මිටි කුරුම්බා ගසකින් හොරෙන් අපි කුරුම්බා කඩා බී ඇතිවග දැනගත් විටද කබිලන් අයියා අපේ හොරකමට හිනා වී සහය පලකල අතර ඒ පිලිබද ගුරුවරුන් කිසිවෙකුටත් නොකීවේය. අපේ නඩයට එවකට පළමු උපාධිය හැදෑරු පිරිස මෙන්ම එවකට පශ්චාත් උපාධිය හදාරමින් වුන් ඉෂංක මල්සිරි, ඩිලාන්, මෙන්ම නිරුපමා අබේරත්න යන සොයුරු පිරිස හා අපේ පුරාවිද්යා අංශයේ ගුරුවරු ඒ ගමනට එක්විය විය. සශිතා අක්කාද අපි සමග හරි හරියට මුළු රෑම අපේ පිස්සු විකාර වලට සහය දුන්නීය. ඇයගේ දුපට්ටාව අපි සෙල්ලන් නටන්නට ගත්තෙමු. ඇගේ මොට්ටු පැකට්ටුව අපි උදුරාගෙන අපේ නළලත සරසා ගත්තෙමු.
නාගදීපය වඳින්නට ගොස් එහි කෝවිලෙන් දවල් බත භුක්ති විඳි අපි ජීවිතයේ මුල්වරට පත්කොල වලට බෙදු ප්රමාණයෙන් විශාල වූ ඇට සහිත බතුත් වට්ටක්කා දැමු සාම්බාර් හොද්දත්, එහිම සැකසු පපඩම් කෑවෙමු.එහි බත් ඕනෑතරම් කන්නට තිබුණු අතර ඒ විශාල වලං වලට රෝද සවිකර තිබුණි. අදටද ඒ මතකය රැගත් චායාරූප අප අතර හුවමාරු වේ. එදායින් සමු ගත්තද විශ්ව විද්‍යාලයෙන් නික්මුනද කබිලන් අයියාට මගෙන් ගැලවෙන්නට ඉඩක් නොවුනි. නැවත 2011 වසරේදී මම මාධ්යවෙදිනියක ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මාධ්ය චාරිකාවට සහභාගී වනදා යාපන කොටුවේ දී නැවත කබිලන් අයියා හමු වීම කබිලන් අය්යාගේත් මගෙත් සහෝදරත්වය වැඩි කරන්නක් විය. එතැන් පටන් අවුරුදු දහයක් ගෙවුනද කබිලන් අයියාට යාපනේ යන හැම විටම කරදර කරන්නෙමි. යන එන ගමන් බිමන් වලදී පමණක් නොව යාපනයේ සොයා ගතයුත්තක් වේනම් ඊට වන්දි ගෙවන්නේ ද කබිලන් අයියාය.
දැන් අපේ යාළුකම ශක්තිමත් කරන්නට තවත් පුරුකක් පැමිණ ඇත. ඒ කබිලන් අයියාගේ නෝනා මහත්තයාය. කාර්තිකා නම් වූ ඇය ඇතැම් විට කබිලන් අයියාට චෝදනා කරන්නේ ඔයා මෙයාට උදවු කරනවා මදි බව පවසමිනි. කෙසේ වුවද ඇය රස ලුණු දෙහි හදා දෙමින් තමන්ගේ ආදරය නිර්ලෝභීව බෙදා දෙන්නීය. පහු ගිය දිනෙක කබිලන් අයියා ඇතුළු පවුලේ සැම කෞතුකාගාරය බලන්නට පැමිණියහ. ඊට පෙර දිනෙක කබිලන් අයියා මට කීවේ කටුගේ බලන්නට එන බවය . එන විට මට කියන්න යැයි කීවේ ඔවුන්ගේ ප්‍රවේශ පත් මා විසින් රැගෙන් දියයුතු වග සිතමිනි . එහෙත් කබිලන් අයියා මට ඒ බව ප්රකාශකරන ලද්දේ පවුලේ සියලු දෙනා කෞතුකාගාරයට ඇතුළු කිරීමෙන් පසුවය.
යාපනේ යන යන වාරයක් ගානේ ඔහු අපට උදවු කලද ඔහු කිසිසේත් අපෙන් ඊට ප්‍රථි උපකාරයක් බලාපොරොත්තු නොවේ.ඕනෑම මොහොතක දුරකථන ඇමතුමකට සම්බන්ධවන කබිලන් අයියගේ මුවේ ඇති නොමැකෙන සිනාව හැමවිටම දුරකථන හරහාද අපිට කියාපාන්නේ හිනාවෙන් ගැස්සෙමිනි . අදත් හෙටත් ඒ ආදරණීය සහෝදරත්වය අපෙන් දුරස් නොවනවග සක්සුදක් සේ පැහැදිලිවා පමණක් නොව මගේ ආදරණීය යාපනයේ ආදරනීයත්වයට ඔහුගේ සහෝදරත්වය තරු ලකුණකි. ඉතින් කෙසේනම් යාපනය කෙරේ ඇති ආදරය මගේ හිතින් අඩු වේවිද?
සේයා - නිරුපමා අබේරත්න , අර්ජුන සමරවීර
මම යාපනයේ පෙම්වතිය
සදරැසී සුදුසිංහ
මාතර ඉදන්


Saturday, October 30, 2021

03. මගේ යාපනය 3 - අපේ පුෂ්පරත්නම් සර් -


මගේ යාපනයේ මගේ කතාවේ පේරාදෙණිය තුල තනිවුනු යාපන හීනය සතු එක මතකයන් අදටත් මතකයේ ඇත්තේ කිසිදු නව මතක සායමකට මකනු බැරි ලෙසිනි. එදවස අපි උන්නේ පේරාදෙණිය සරසවියේ අවසන් වසර පංතියේය. එක දේශනයක් අවසන් වී එලියට පැමිණි ඇසිල්ලක දී හදිසියේම යමෙක් කීවේ ‘’අද යාපනේ පුෂ්පරත්නම් සර් ඇවිත් ඉන්නවා’’ යනුවෙනි. යාපනේ සිට පැමිණි මහාචාර්ය පී.පුෂ්පරත්නම් දකින්නට අපිට වූයේ කුතුහලය මුසු කැමැත්තකි. එය අපි කැමති නළුවකු දකින්නට දැක ගැනීමට වූ කැමැත්ත මෙන් වූ හැගීමකි. ඇතැම් විටක පතපොතෙහි දුටු පුෂ්පරත්නම් සර් බලන්නට අවශ්‍යය වුවද ඔහු සමග කතා කලයුත්තේ මොනවාදැයි කියා නිනව්වක් තිබුනේ නැත. ගෙදරට අමුත්තෙකු ආ විට කුඩා කල දොර රෙද්දට මුවා වී බලන අයුරින් අපි පුෂ්පරත්නම් සර් දෙස බැලුවෙමු. මගේ මිතුරිය චිත්‍රමාලා තරංගනී එවකට උන්නේ නාණක විද්‍යාව හෙවත් පුරාන කාසි පිලිබඳ අධ්‍යනයක් සිදුකිරීමේ කැමැත්තෙනි. ඒ නිසාම තරංගනී අවශ්‍යය වූයේ මේ විද්වතා සමග කතාකරන්නටත් යාපනය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතුව තිබෙන වගට කියවා තුබූ හස් එබූ කාසි පිලිබඳ අසන්නටය.

ප්‍රධාන කලාගාර ගොඩ නැගිල්ලේ පිහිටි දෙමළ භාෂා දෙපාර්තමේන්තුව ඉදිරිපිට කොරිඩෝරයේ උන් ඒ අමුත්තාට ලං වීමට හිත පසු බෑවද මට ඔහු සමග කතාකරන්නට නැතත් ඔහු දෙස ලඟින් බලන්නට තිබු ආශාව නිසාම "යමු යමු ගිහින් කතාකරමු’" කියා මම මගේ මිතුරිය තල්ලු කරගෙන පුෂ්පරත්නම් සර් වෙත ගියෙමි.
එදා මට කතාකල දේ මතක නැතත් තාමත් පුෂ්පරත්නම් සර් අපේය යන හැගීමක් හිතට එයි. ඒ ඔහුත් අපිත් පුරා විද්‍යාවට සම්බන්ධ නිසා මෙන්ම අපි මුලින්ම දැනහදුනාගත් යාපනේ අයෙකු නිසා එහෙම හිතෙනවා දැයි මා නොදනිතත් ජේතවනාරාම ව්‍යාපෘථියේ පුහුණුව ලැබීම නිසා එය "අපේ ජේතවනය" වූවා සේම; පුරා විද්‍යාව; යාපනේ ජීවත් වූ පුෂ්පරත්නම් සර් නිහඬවම අපේ විය.
මේ වනවිට කීපවතාවක් පුෂ්පරත්නම් සර් මුණ ගැසුනද වචනයක් කතා නොකලද කවුරුහරි යාපනේ යැයි කී පමණින් මට පුෂ්පරත්නම් සර් ගැන කියවේ. මේ සියල්ල මගේ හිතේ තිබූ යාපනය කෙරේ වූ උන්මාදය නිසා හෝ අපේ යටිහිත යාපනයෙන් බලාපොරොත්තු වූ හිතවත්කම කෙරේ වූ රික්තකය යම් පමණකින් හෝ පුරවා ගැනීමේ හැගීමද විය හැක. කෙසේ වුවද ඊලග වතාවේ යාපනේ ගියවිට ඔහු හමුවීමට මම අදිටන් කර සිටිමි.
අදටත් මගේ මිතුරියත් මමත් හමු වී අපේ අතීත කතා රසවිඳින කල මේ නම්ගම් අපි කතාකරන්නේ "අපේම" කෙනකු ගැන කතාකිරීමේ හැගීමෙනි. එදා වගේම ඔහු අපි පිළිගනු ඇත. මෙදා ඔහු මුණ ගැසෙන විට ඔහුගෙන් අහන්නට දැනගන්නට බොහෝ දෑ ඇත. එක වචනයක්වත් කතානොකර අපි මේ හැටි ආදරේකින් ගෞරවයකින් ඔවුන් වෙත බැදී ඇත්නම් අපි සැබෑවට ඔවනොවුන් එකට මුසු වී නම් එකිනෙකා වෙත කොපමණ ගරුත්වයකින් ආදරයකින් කටයුතු කරාවිදැයි යන්නට උදාහරණ අවශ්‍යය නොවේ පුෂ්පරත්නම් සර් ගේ මතකය ලගට සිටිනා මතකය කබිලන් අයියාය.
කබිලන් අයියා සොයා කොඩිකාමම් යන්නට මේ දැන් මම දුම්රිය ප්‍රවේශ පත්‍රයක් වෙන්කර ගැනීමට මාතර ස්ටේෂමට යා යුතුය. එන්න කැමති කෙනෙකු වේනම් එන්න මාත් එක්ක.
මම යාපනයේ පෙම්වතිය
සඳරැසී සුදුසිංහ
මාතර ඉදන්
sandaraseepriyathma@gmail.com

Monday, October 18, 2021

02. මගේ යාපනය 2


පේරාදෙණිය සරසවියට පැමිණි මුත් දෙමල යාලුවෙක් සොයා ගැනීමේ පිපාසය හිතේ හැටියට සංසිඳවා ගැනීමට පිනක් නොවුනි. අපි එකම විශ්ව විද්‍යාලයේ හිටියද , අපි අතරේ වුවේ දුරස් බවකි. සරසවියට එන්නට පෙර මා හීන දුටු කොණ්ඩයේ මල් ගසා , පොට්ටු තියා අත් වැල බැඳ දෙමළ මිතුරියන් සමග කෝවිල් යන එකමුතුවක් දර්ශනයක් දකින්නට නොහැකි විය.
ඉතා කෙටියෙන්ම කියන්නේ නම් අපි රැග් වුවේද වෙනමය, Social ගත්තේද වෙනමය. එකට හන්තාන නැග්ගේ ද නැත. ඉංග්‍රීසි පන්තියේ පමණක් අපි එකට පැය ගණනක් ගතකලද නොයා බැරිකමට ගිය නිසා අපි යාලු මිත්රකම් හැදීමට තරම් යහපත් මනසක ඒ දේශන වලදී අපි නොහිටියා හෝ එසේ නැත්නම් අපි කොහොමත් ලොකු ඇයි හොදය්යක් නැති උන් ලෙස හිටියා වන්නට ඇත. අපේ මහා ශිෂ්‍ය සංගම් වල වූ මහා තැන් වලටත් අපි දෙගොල්ලන්ගේ සමගිය මේ රටට කොපමණ අවශ්යදැයි අමතක වී තිබුන වග මතක වන්නේ දැන්ය. ඉතා හදිසි අවස්තාවක හැරුණකොට අපි නෙවාසිකාගාරවලදී ද උන්නේ සිංහල දෙමළ ළමුන් වෙනමය. ඉතා සුළු තරයක් උදේ හවා හිනා වුවද කතාකලද ඒ හදිසියේ බස් නැවතුමේ සිදුවන අන්දමේ කෙටිම කතාය. කතා පෙට්ටියක් වූ මට පවා ලොකු කතාවලට යන්නට නොහැකි විය. ඊට භාෂා ප්‍රශ්ණයද හරස් වන්නට ඇත. එහෙත් ඒ පුංචි කතාවලින් ඉතිරි වුනු අපේ මතක මා සතුව නැත්තේම නොවේ
අපි රාමනාදන් ශාලාවේ නේවාසිකව උන්නෙමු. පළමු වසර අප හිටි කාමරයට අල්ලපු කාමරයේ වූවේ වලස්මුල්ලේ සහ හෙට්ටි මුල්ලේ සිට පැමිණි සිංහල මිතුරියන් දෙදෙනා හැරුණු කල එහි අයිතිය තිබු අනෙක් සඟයා වූවේ "සින්ධුජාය" ය හොද උස මහතකින් යුතු "සින්ධුජා" බොහොම අහිංසක චරිතයක් විය. ඇයගේ නිශ්ශබ්ද කමට හේතුව ඇයගේ කාන්තා ලාලිත්‍යය මුසු තැන්පත් ගතියද? එසේ නැත්නම් අපේ ජාති ප්‍රශ්ණයද? යන්න මට හිතා ගන්නට අදටත් නොහැකිය. එහෙත් ඒ කිසිවක් නොව ඇය සැබවින්ම අහිංසකය යන්න අදටත් මට හිතීම වෙනස්වන්නේ නැත.
කෙසේ වුවද "සින්ධුජා" යනු යාපනයේ සිට පේරාදෙණිය සරසවියට පැමිණි; ඒ අවුරුදු හතරටම තමන්ගේ යාපනයේ ගෙදරට යා ගත හැකි නොවූ තරුණියකි. සතියක් දෙකක් ගෙදර නොගිහින් ඉන්නට බැරි සාංකාවක් තිබුණු අපි ගෙදර දුවද්දී ඇය කොළඹ නෑදෑ ගෙදරකට ගොස් ආවාය. ඒ පිලිබඳ කිසිදු බරක් පතලක් නොමැතිව විමසු විටද ඇය කීවේ ගෙදර යන්නට ඇය නැවකින් යායුතු බවකි. එදා උතුරේ වූ තත්ත්වය නොදැන හිටියද අද ඒ තොරතුරු දැනගන්නා කල මට සින්ධුජා ගෙවූ ජීවිතයේ කටුක දුක්ඛිත බව නැවත නැවත මාව පසු තැවීමකට හිරකරයි. එකල අපිට ඇය ඇතුළු දෙමළ මුස්ලිම් මිතුරියන්ට තවත් ලංවිය හැකිව තිබුනානම් ඔවුන්ගේ දුක බෙදාගන්නට යම් තරමකින් හෝ හැකිවන්නට තිබුණා මෙන්ම අපි අතර වූ අපිත් නොදන්නා විරසකය යම් දුරකට අකා මකා යන්නට ද ඉඩ තිබිණි. එසේනම් අද යාපනේ යද්දී සින්ධුජා ඇතුළු යහළු මිත්‍රයින් පේරාදෙණි පවුලේ නෑදෑකම තුරුළුකොට මුණ ගැහෙන්නට තිබිණි. අවාසනාවට A 05 කණ්ඩායමේ සින්ධුජා ගේ හෝ අන් යාපනේ දෙමළ මිතුරියන්ගේ සම්බන්ධතාවයන් නැති විය. ඒ මතකය අදටද මගේ හිතට ලැජ්ජාවක් මෝදු කරවයි.
එකල යාපනේ සිට පැමිණි බොහෝ දෙනෙක් අවුරුදු හතරටම ගෙදර නොගිය වග මට දැනගැනීමට ලැබිණි.එක දවසක මගේ අතින් මෙලෙස කවියක් ලියවුණි. එහි ඇත්තේ බොහෝ ප්‍රාථමික කාව්‍ය ලක්ෂණ වුවද ඒ ප්‍රස්තූථයට මගේ හදවතින්ම ආදරය කරමි. එදාට වඩා මට සින්ධුජා ලගේ ආදරය ලබන්නට ලොබ බඳිමි. වයසින් මුහුකුරායත්ම තේරෙන අවබෝධවන සත්යය කටුකය. එදා සරසවි වල වූ ශිෂ්‍ය ව්‍යාපරවලට බලෙන් රැග් සීසන් තියා එකිනෙකා හදුන්වා දෙමින්, එකිනෙකාගේ දුක තේරුම් ගන්නට, සහජීවනයෙන් ඉන්නට මෙන්ම විශ්ව විද්‍යාල උප සංස්කෘතිය අපිට දියකර පොවන්නට උත්සහ ගනිද්දී මෙරට උගත් පරම්පරාව ලෙස මේ රට අවශ්‍යම වූ සමගියේ අරුනළු සරසවි ලෝගුව අතරින් බෙදා හරින්නට නොහැකි වූ කාරණාව තේරුම් ගනිමින් සිටිමි. අපි තුන්ගොල්ලෝම එකට රැග් කරානම් අදටත් අපිට අපි ඉතිරිවන්නට තිබිණි. දේශපාලකයන්ට කිසිදු විටක මෙරට සමගිය අවශ්‍ය නොවූ අතර ඔවුන්ට අවශ්ය වූවේ අහිංසක සිසුන් පාවිච්චි කරමින් හෝ බලය ලැබීමය. උපාධි පිට උපාධි ලැබුනද ඒ යුගයේදී අපි හිටිය තැන, අපි හිතපු හැටි ගැන අමුතුවෙන් කීමට යමක් නැත්තේය. අදටත් අපි අපේ Get together තියන්නේ සිංහල ළමුන් වෙනමය, දෙමළ ළමුන් වෙනමය. ඉතින් අපි කොයි තරම් දුප්පත්ද තාමත්. එහෙයින් එදා අපිට නොලැබුන, අපිත් නොදැන නිහඬවම ගෙවී ගිය අපේ සිවු අවුරුදු මතකයන් වෙනස් කරන්නට ආපස්සට යන්නට නොහැකි වුවත් අද සරසවි වල සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වයට කියන්නට ඇත්තේ ඔබේ එක මිතුරු හිනාවකට හුස්මකට; මහා යුධ දුම් ක්ෂණයකින් නිවාලිය හැකි වගය. එදාට දේශපාලන ගිනි දෙන්නන් හට ඒ ගිනි තමන් වෙතම තබාගැනීමට සිදුවනු ඇත.
කිවියයුතු තවත් කතා මගේ හිත මත පෝලිම් ගැසී බලා හිදී. එතෙක් මම මගේ යාපන ප්රේමය A -9 පාරේ කෙළවරක රඳවමි.
යාපනයේ සිටින අම්මාට,
ලංකාවේ උතුරු කොනේ
යුද දුම් අතරින් රිංගා
ආවෙමි මා ශිල්ප ගන්න
රට මැද්දේ සරසවියට
වසර ගණනකින් නොදිටිමි
ආදර අම්මේ ඔබේ මුව
වෙනද වගේ පොට්ටු තියන්
අම්මා කෝවිල් යනවද ?
සිවනාදන් චූටි මල්ලි
මාව මතක් කරනවාද?
අප්පා ගේන තල් ගෙඩිවල
කිරි තාමත් රසයි නේද?
මගෙ යාළුවා තංගමනී
බැඳලා ගිහින් හුගක් කල්ද?
සඳ මැදියම කාමරයේදී
මතකෙට එනවා අම්මව
දමා එනු හිතයි විගහට
සරසවියද උපාධියද
මම ආවොත් හෙට උදේම
අම්ම තරහ ගන්නෙ නැද්ද ?
ඊට වඩා සිය ගුණයක්
ඔබට මාව වටී නේද?
මම යාපනයේ පෙම්වතිය
සඳරැසී සුදුසිංහ
මාතර ඉඳන්
sandaraseepriyathma@gmail.com

Monday, October 11, 2021

01. මගේ යාපනය 01


යාපනය මගේ ය. මගේ ආදරය යාපනයයි. ලංකාවේ දකුණු කෙලවර දෙවුන්දර තුඩුවේ ‘’ හේවාවිතාරණ මාතෘ නිවාසයේදී ‘’ උපත ලැබූ මට යාපනය යනු දුර සිහිනයක් වූ අතීතය ගෙවී ගොසිනි. දැන් යාපනය මට හුස්මක දුරිනි. මගේ යාපනය ගැන ලියන්නට හිතුනේ අදක ඊයෙක නොවුනද දවසින් දවස ඒ අදහස කල් ගියේය. එත් දැන් මට යාපනය ගැන නොලියා හිදින්නට බැරිය. යාපනේ කෙරේ උපදින ආදරය මේ අකුරු අතර නටන්නට දඟලන්නට මගෙන් හුස්ම අයැද හිදී. මේ මගේ යාපනයට මගේ හුස්ම කියන කතාවයි.
මීට දශක තුනකට ඉහතදී මම කුඩා දැරියක වී ඉන්නා කල යාපනය යන වචනය මට ඇසුනේ මගේ නෑ හිතවතුන්ගේ කතා අතරිනි. ඒ යුද්ධය ගැන කියන කතාවලිනි. ඉන් අනතුරුව මම යාපනය ගැන මුල්ම රූපමය කියවීම ලබන්නේ පහේ පන්තියේ සිංහල පොතේ වූ පාඩම කියවීමෙනි. ‘’යාපනයේදී ‘’ යන මාතෘකාවෙන් රචිත එම පාඩම මට මෙන්ම මේ රටේ ඉපදී උතුර දකුණ ගැන සිතියමෙන් විතරක්ම දැන උන් අපේ කාලේ සියලු දෙනාටම යාපනය යන මූලික අකුරු හතර පෙරටු කොටගත් , එක සංකේතාත්මක නගරයක් පමණක් නොව තවත් ආදරණීය සංස්කෘතියක් උරුම කොට ගත් ( මා මෙහිදී යාපනය යනුවෙන් දක්වන්නේ යාපන අර්ධද්වීපය පමණක් නොව සමස්ත දෙමල ජනතාව හා ඔව්න්ගේ සංස්කෘතියයි) මේ රටේ ආදරණීයයන් වගත් ඔවුන් අපගේම සහෝදර ජාතිය වග කියන්නටත් ලියන ලද අසිරිමත් පාඩම විය. සැබෑවටම එම පාඩම මගේ ජීවිතයට උගන් වූයේ දෙමල ජනතාවගේ ආදරයයි. එහි කතුවරයා මෙන්ම මෙම පාඩම පෙළ පොතට ඇතුලත් කරන්නට තීරණය කල යමෙක් වේනම් මම ඔවුන්ට හදවතින් නමස්කාර කරමි.
‘’ යාල් දෙවි දුම්රිය යාපනේ දුම්රිය පොලට ලඟා විය.වෙලාව සවස දෙක හමාරට පමණ ඇත. අම්මාත් , තාත්තාත්, අමරත් ,මමත් නිවාඩුවක් ගත කිරීමට දුම්රියෙන් යාපනයට ගියෙමු.’’ පහ වසරේ සිංහල පෙලපොතේ 11 වන පාඩම එසේ ආරම්භ වී තිබිණ. රාධා, මාධවන්, ආඩියා ලිඳ ,උළුඳු වඩේ, තල් වැට, කොට්ට කිලංගු , නල්ලුර් කෝවිල ආදී වචන අපේ පුංචි හිතට ගෙනාවේ මේ අපේ රටේම කොටසක් පිලිබඳ කියවන විට නැගෙන හැගීම් නොව කවදාවත් අපිට විඳින්නට නොලැබෙයි කියා හිතෙන ඒ පිලිබඳ දුක් සංකාවක් මුසු හැගීම් පමණකි. පෙල පොතෙන් මා දුටු යාපනය මගේ හිතේ කොනක් සින්නක්කරයටම අල්වා ගෙන උන් වග එදාට වඩා මට තේරෙන්නේ දැන්ය. (ඒ ඇල්ම කොපමණද යත් මෑතකදී බොහෝ වෙහෙසක් දරා ‘’රියෝ සගරොක්ස් ‘’ සහෝදරයා ලවා අන්තර්ජාලය ඔස්සේ එම පාඩම සොයා යළි කියවීමි. මාතර මහමායා බාලිකාවේ පහේ පන්තියේ වුන් දගකාර කෙල්ල නැවත මට හමු වූවේ ඒ පාඩම කියවද්දී ය.)
මටත් යාපනේ නෑදැයෝ සොයා ගැනීමට ඕනෑකමක් විය. යාල් දේවියෙන් යාපනේ යන්නට අවැසි විය. ටික ටික වයසින් වැඩෙත්ම මේ යාපන ගමන සිරීපාදේ යන තරම්ම ලේසි නොවන බවත් එය කවදාවත් සැබෑ නොවන ආශාවක් වග මගේ හිත අකැමැත්තෙන් වුවද තේරුම් ගනිමින් තිබිණ. මගේ කුඩා අවදියේ අප ජීවත් වූයේ මාතර දුම්රිය නිල නිවාස වලය . උදේ හවා අප දකින දුම්රිය එන්ජින් වල සඳහන් නම් කියවන අපිට "පේදුරු තුඩුව, කන්කසන්තුරෙයි" යන නම් නුපුරුදු නොවීය. එහෙත් සිතියම් පොතෙන් දැක ඇති පේදුරු තුඩුව දකුණේ දෙවුන්දර තුඩුවේ ජීවත් වූ අපට ලංකාවේ දිග මැනීමේ ස්ථාන දෙකෙහි නම් මිසක් මේ අපේ රටේ අපි සියලු දෙනාම පය තැබිය යුතු බිමක් වග අමතක වී තිබිණ. පේදුරු තුඩුව යනු සුරංගනා ලෝකයක ඇති දෙයක් ලෙස සරල හැගීමක් අප තුල විය. එහෙයින් හැබෑවටම යාල් දේවියෙන් යාපනේ යෑම ගැන හිතීමම නින්දේ දකින හීනයක් විය. ශිෂ්‍යත්ව පන්තියේදී ගුරුවරයෙක්ගෙන් දෙමල හෝඩිය ඉගන ගැනීම මිසක් ඉන් එහාට අපි මාතරදී දෙමල කිසිවෙකුත් දැක තිබුනේ නැත. එවකට දෙමල ඉගැන් වූ ගුරුවරයාගෙන් යාපනය පිලිබඳ අහන්නට දැනුමක් තේරුමක් අපට තිබුනේද නැත. ඒ ගුරුවරයා කවදාවත් උතුරට ගොස් තිබුනා දැයි මම දන්නෙත් නැත. රූපවාහියෙන් දකින දෙමල සංස්කෘතිය හැබෑවටම විදින්න්නට අවුරුදු ගානක් ඉවසන්නට මට සිදුවිය.
එවකට මාතර දුම්රිය පොළ පාරේ පිහිටි හින්දු කෝවිලද වසා දමා තිබුනේත්, මෙහි වූ සියලු දෙමළ මිනිසුන් මාතරින් පිටවගොස් තිබුණේත්, නිවසේදී නිතර කියවෙන දොස්තර නාගරාජා තමන් ගොඩ නංවූ පෞද්ගලික රෝහල තම මතකයට ඉතිරිකොට ලංකාවෙන්ම සමුගෙන දුරු රටකට ගොස් තිබුනේත් අසූව දශකයේ වූ දෙමල සිංහල කෝලාහලවල අඳුරු ප්රතිපලයක් ලෙසිනි. "ගාල්දියද", "බාල්දියද" අසමින් කුළල් කාගත් මිනිසුන්ගේ කියුම් කෙරුම් අසත්ම මගේ හිත තව තවත් නොදැකපු යාපනයටත් දෙමල ජනතාව කෙරෙහිත් නැඹුරු කරවන්නට ඇත. ඒ කාලේ මේ යාපනය කෙරේ වූ ප්රේමයට එකමෙක පියාපතක් හෝ සවි කරගන්නට හැකි වූවේ විශ්වවිද්යාලයට යාමේ ප්‍රථිපලයක් ලෙසිනි. උතුරෙනුත් කඳුකරයෙනුත් මදි නොකියන්නට ආදරණීය දෙමල සහෝදරත්වය හමු වුනේ එහිදීය . ඒ හමුවේ මතක තවත් දවසකට ඉතිරිකරමි. එතෙක් ඔබේ හිතේ යාපනය තැන්පත් වී ඇත්තේ කවර හැගීම් තට්ටුවේදැයි අතගා බලනු මැන.

දෙමළ සර් වෙත ගෞරවයෙන් ....
මාතර බ්රොඩ්වේ පාරේ
එදා සිස්සත්ව පන්තියේ
දෙමළ ඉගැන්වූ
සිදම්බරන් සර්,

ආනා ආවන්නා
ඊනා ඊයන්නා
ඔන්රු ඉරන්ඩු
ගැනම නොකියා
ප්‍රශ්න පත්තරෙන් පිට පැන
කිවුවානම් මොකද
දෙමළ හෝඩියද
හුස්ම ගන්නා වග ...

දුටුවේම නැත මම
දෙමළ අකුරක උණ්ඩි වී වුන්
දුර දකින කැඩපත
දෙමළ යෙහෙලියකුදු
හිටියෙ නැති එකළ,

අදත් අපි අසරණව
කරච්ච්චල් රාමුවක
සිරව වැළපෙයි
අපි නොඇදී චිත්රෙකට
පාට සායම් සොයමින් ....

සංහිදියාවේ තණපත්ද වේලි
අන්ධ හිරු එළිය යට
කියවා ගනු බැරිව දෙමළ හෝඩිය
මෙන්ම දෙමළ හදවත් ද
නාදුනන බසකින්
වැටෙන කඳුලක
තබමි එක පොට්ටුවක්
සිනහවක පාටින්
පතා එක පැතුමක් යන්නට සිතා
යළි පහේ පන්තියට
මුල ඉදන් අහන්නට
උතුරු සුළගේ නෑකම ....
ඒ තමයි සුබ නැකත
අපි ඔක්කොම පාස් වෙන....

මම යාපනේ පෙම්වතිය
සඳරැසී සුදුසිංහ
මාතර ඉදන්
sandaraseepriyathma@gmail.com

07. මගේ යාපනය 07

  රාජන් හූල් නම් මහා පොත සොයා ගියෙමි . ඇත්තම කියන්නේ නම් මට හිතෙන්නේම මගේ දෛවය විසින් මම යාපන අහසට තියා ඇණ ගසා ඇති වගකි. යාල් පානම් ආදරය මග...