Thursday, June 9, 2022

07. මගේ යාපනය 07



 රාජන් හූල් නම් මහා පොත සොයා ගියෙමි .

ඇත්තම කියන්නේ නම් මට හිතෙන්නේම මගේ දෛවය විසින් මම යාපන අහසට තියා ඇණ ගසා ඇති වගකි. යාල් පානම් ආදරය මගේ හීන කන්දේ ඉහල ඉම අත්පත් කොටගෙන ඇත. යාපනය යනු ආදරයේ හා මනුෂ්යත්වයේ නොසිදෙන ආදරයේ උල්පත් අප්රමාණව ඇති භූමියකි. ඒ උල්පත් තුලින් පිරී ඉතිරෙන ආදරය කරුණාව හදවත තෙමාගෙන ගලා බසී. බිඳුන තල්ගස් දකින්නට ප්රථම අප දුටුවේ තේජමාන භූමියක සිතුවමකි. ඒ සිතුවම තුල වූ ආදරණීය ප්රාණීන් අදටද අපිට යාපනය අපේ තැනක් කරන්නට නොනවතින උත්සාහයක නියැලෙමින් සිටී. මේ කියන්නේද ඒ ආදරණීය මනුෂ්යත්වයේ මහා පොතක් ගැනය. සැබෑවටම ඒ මනුෂ්යතත්වයේ මහා පොතකි.


බිඳුණු තල් රුක කී පමණින් අපිට මතක වෙන පොතකි. යලිත් යුද්ධයක් මෙරට ඇති නොවිය යුතුවගට තර්ක කරන්නට ඉදිරිපත්කල හැකි සරලම හා බලවත්ම ආයුධය බිඳුණු තල් රුක හෙවත් ‘’ The broken Palmyra’’ කෘතියයි. මේ කෘතිය තරම් මගේ හිතට බලපෑම් කල අන් කෘතියක් මගේ ජීවිතයේ නොමැති තරම්ය. මගේ යාපන උන්මාදය ගැන කතාකරනා දිනෙක පේරාදෙණි සරසවියේ සමාජ විද්යා අංශයේ කථිකාචාර්ය ප්රියදර්ශනී ප්රේමරත්න විසින් බිඳුණු තල්රුක කියවන්නයි

පොත කියවා අවසන් වනවිට මම ජීවත් වූයේ මටත් හිතා ගත නොහැකි වූ මානසික විපර්යාශයකට මැදිවය. කතුවරු සිවුදෙනකු විසින් රචිත එහි සැඟවුණු රහස අධ්යාපනය පිරුණු මිනිසෙකු බිහි කරන වගය.ඊට සුදුසුම උදාහරණයක් වන්නේ මේ කතුවරුන් සිවුදෙනාය, රාජන් හූල්, දයා සෝමසුන්දරම්, කේ. ශ්‍රී ධරන් හා රාජිනි තිරාණගම තමන් ලද අධ්යාපනයටත් මනුෂ්යත්වයටත් තම යුතුකම ඉටුකළේ මේ කෘතියට ජීවය දෙමිනි. අතුරක යමින් දැලිපිහියෙන් කිරිකමින් මෙන් ඉතා අසීරුවෙන් මෙම ග්රන්ථය ලිවීමම මට නම් වීරත්වයකි ඒ පොත ලියූ කතුවරුන් සිවු දෙනාගෙන් එක අයෙකු වූ රාජන් හූල් මගේ හිතේ පැලපදියම් වූවේ ඔහුව දකින්නට යන්නට හීනයක්ද ඉතිරි කරමිනි. මට ඔහු ඒ තරම් පූජනීය වූයේ ඔහු හා අනෙක් කතුවරුන් සතු වූ අපක්ෂපාතී හා නිර්භයතාවය හේතු කොටගෙනය.

සැබෑ ශාස්ත්රීය පර්යේෂණයක තිබිය යුතු යතාර්ථය, මධ්යස්ථ බව තුල පිහිටා අපූරුවට ලියූ පොතකින් වත්මන් ලෝකයේ ලියවෙන කෘති උදෙසා පෙන්වන හරය ඔවුන්ගේ උගත්කමතුලින් ලද ශික්ෂණය තව දුරටත් විදහා පාන්නේය. ලංකාවේ හැම ගෙදරකම පූජාසනයේ මේ කෘතිය තැන්පත්කොට තිබිය යුතුයැයි මම යෝජනා කරන්නෙම ඒ නිසාය..
ඒ ගෞරවනීය මිනිසා මුණ ගැහෙන්නට මට මග පෑදුනේ අපූරු ලෙසය. ඇය නමින් සදන්ති වත්සලාය . උසස් අධ්යාපන කටයුත්තකට කොළඹ විශ්වවිද්යාලයට ගිය අවස්තාවක අහම්බෙන් මෙන් ඇය හඳුනාගෙන ඇය යාපනය සරසවියේ රෙජිස්ටාර් වරියක ලෙස සේවය කරන වග දැනගත් පමණින් අගේ දුරකථන අංකය සටහන් කර ගතිමි. පසුව මාස ගණනකට පසු මට ඇය මතක් වූයේ රාජන් හූල් පිලිබඳ තොරතුරක් දැන ගැනීමටය. ඒ අපේ පළමු දුරකථන ඇමතුමයි . ‘’ අක්කා මම අසවල් තැනදී ඔයා එක්ක කතාකරා. මට උදව්වක් ඕනේ රාජන් හූල් කියන සර් ගැන හොයා ගන්න. එයා යාපනේ විශ්වවිද්යාලෙ ගණිත අංශයේ ගුරුවරයෙක් ‘’ මම එසේ මගේ විස්තරය කියා නිමවන විට ‘’එයා පොත් ලියපු කෙනෙක් නේද ? එයාගේ නෝනා අපේ පුස්තකාලේ ලයිබ්‍රේරියන් කෙනෙක් වෙලා ඉඳල දැන් සතියකට කලින් පෙන්ෂන් ගියා . ඔයාට මම මිසිස් හූල් ගේ අංකය දෙන්නම් අහල. ‘’ සදන්ති අක්කා මට අහසට යන්න ඉනිමගක් දුන්නාය. එදාම ඇය මට රාජන් හූල් නම් මහා පොතේ චායා රූපයක්ද එව්වාය. ඒ මම ඔහු දුටු පළමු වතාවය. පා පැදියක නැගී විශ්වවිද්යාල භූමිය පැමිණ සිටින සරල මිනිසා දැක මට දරාගත නොහැකි සතුටක් දැනුණි.
ඉන්පසු මම රාජන් හූල් නම් විද්වතාට කතා කොට මගේ ලේඛන කටයුත්තකට අවශ්ය උපකාරයක්ද ලබා ගත්තෙමි. ඒ තරම් කාර්යබහුල පුද්ගලයෙකු වූ ඔහු මා වෙනුවෙන් ඔහුගේ වටිනා කාලය මිඩංගු කළේය. කෙසේ වුවද විටින් විට යාපනේ ගියද මට ආචාර්ය හූල් බලන්නට යන්නට නොහැකි විය. එහෙත් පසුගිය දිනෙක යාපනයට ගිය ගමනේදී සදන්ති අක්කා සමග මම ආචාර්ය හූල් සොයා ගියෙමි. නල්ලූර් කෝවිල ආසන්නයේ පිහිටි ඔහුගේ නිවස සරල මිනිසෙකුගේ පිරුණු බව කියාපාන්නක් විය. හූල් යුවල අපිව පිළිගත්තේ ආදරනීයවය. ඒ ලෙන්ගත්කම් වචනවලට නගන්නට තරම් මගේ වාග් කෝෂය පොහොසත් නැතිවග නොකියාම බැරිය. මම චායාරූපයෙන් බැලුවාට වඩා ආචාර්ය හූල් උස මිනිසෙකි. ඔහු අඩි හයක් පමණ උසය. ඒ වගේම ඔහු නිහඬය. අහිංසක කුඩා දරුවෙකු සේය. හූල් මහත්මිය බොහෝ දේ කතාකරමින් ‘’ මේ උතුරු දකුණු ප්රශ්නය නැතිකරන්න ඔයාල ලියන්න’’ ඇය දයාර්දව කීප විටක්ම ඉල්ලුවාය. ආචාර්ය හූල් ඒ වන විටද උන්නේ සාලයේ තැබූ පරිඝනකය මත නවතම පොතක් ලියමිනි.
‘’ මේ දවස්වල කඳුකරයේ දෙමල ජනතාව පිලිබඳ පොතක් ලියනවා ‘’ කියූ අතර ඔහුගේ පොත්පත් රැසක්ද බලන්නට ද හැකිවිය. ලංකා විශ්වවිද්යාලයෙන් ප්රථම උපාධිය ලද ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයෙන් ආචාර්ය උපාධිය ලබා යාපනය විශ්වවිද්යාලයේ ආචාර්යවරයකු වශයෙන් කටයුතු කළා පමණක් නොව සිංගප්පුරුවේ සරසවියකද සේවය කර ඇත. මිනිසුන් වෙනුවෙන් සේවය කරන්නට මේ ලෝකයට ආ නඩයේ කෙනකු වූ ඔහු ජාති ආගම් බේද නොසලකා මනුෂ්යත්වය නම් කුලයට ආදරය කරුණාව පුදන්නට විය. මානව හිමිකම් සදහා විශ්වවිද්යාල ආචාරවරුන්ගේ සංගමය පිහිටුවා ගැනීමට පුරෝගාමී වූ ඔහු ලෝකයේ මානව හිමිකම් සම්බන්ධ සම්මානයන්ගෙන් පිදුම් ලබන්නට විය.
අවසාන අපි ඔවුන්ගෙන් සමු ගැනීමට සැරසෙත්ම මට හිතුනේ මෙවන් පොතක් ලියූ මිනිසෙකුගේ දෑතට අපි කොපමණ ආදරයක් ගෞරවයක් පිදිය යුතුද කියාය. ආචාර්ය හූල් දෙසට හැරුණු මම ඇසුවේ ‘’ සර් මගේ එක ඉල්ලීමක් තියනවා . මට සර්ගේ අත්දෙක සිපගන්නට ඕනේ ‘’ ඔහු ඉතා දිඟු ඇඟිලිවලින් යුතු දෑත මා දෙසට දිඟු කළේය. මට ඒ දෑත මගේ නළලට තියාගනිත්ම ඉකිබිඳීණි. මෙහෙම මිනිසුන් මේ පොළොවට එව්වේ කවුද? මොවුන් තව කොපමණ කාලයක් මිනිසුන්ට මනුෂ්යත්වය ගැන කියන්නට ජීවත් වේවිද? තම ජීවිත කාලයෙන් අවුරුදු තිහක් පමණම යුද්ධය දෙස බලා හිඳ දුක් විඳි ජීවිතය පවා අවධානමක තබා ඔවුන්ට කළහැකි උපරිම සේවය රටට මනුෂ්යත්වයට ඉටුකළ සේවය වෙනුවෙන් අපිට කල හැක්කේ මොනවාද?’’ අවසාන ඔහුගේ දෑත් මුදා හැර මම අනෙක් පසට හැරෙත්ම මාව තවත් සංවේදී කරමින් හූල් මහත්මිය දැඩිව මගේ වම් උරහිස සිපගත්තාය. ඒ ඇගේ හිතේ පිලිසිඳුන ආදරයේ සංකේතය වග මම වටහා ගතිමි නැවත මගේ ඇස් කඳුලින් පිරිණ. ‘’ පරිස්සමට ගිහින් එන්න ‘’ ඇය නැවත සිහින් හඬින් කීවාය.
ටුක් ටුක් රථයට නැගී මදදුරක් එනතුරුම මට කඳුළු නවතා ගන්නට නොහැකි විය. මේ දමා යන්නේ මගේ යාපනයේ හුස්මය. තවමත් මට හූල් මහත්මියගේ උණුසුම් ආදරය වම් උරය මත රැදී ඇතුවාක් මෙනි. . ඒ සිප ගැනීම මට ලැබුණ ආදරණීයම සම්මානයක් විය. ඉතින් මේ මිනිසුන් සැබෑවටම පිදියයුත්තන්මය. දැන් මට නල්ලුර් පූජනීය වන්නට හේතු තුනකි. ඉන් එකක් නල්ලුර් කන්ධ ස්වාමි කෝවිලය. දෙවන කාරණය නම් රාජන් හූල් නම් මහා පොත ඒ සමීපයේ ජීවත්වීමය. ඉතිරි කාරණය බොහෝ පෞද්ගලික කාරණයකි. ඉතින් මෙවන් උතුම් මිනිසුන් ඉන්නා තෙක් මගේ යාපනයට ආදරය කර අවසන් කරන්නේ කෙසේද?

‘’බිඳුණු තල් රුක’’ මතකද අහන්නේ මම පොත ගැන
සිවු දෙනෙක් කතුවරු ලියපු සත්යයේ හිත ගැන
යුද බිමක සැඟවුණු කඳුළුවල අග මුල
පන්හිඳට නතුකළ සැබෑ උගතුන් නෙත
මරණයේ සෙවනැළි දැක දැකම අත ලඟ
උපෙක්ෂාවේ සිතුම් අකුරු කොට පණ පිඹපු
දැළිපිහියකින් කිරි කමින් අතුරේ යනගමන් ලියූ
උතුරේ මෙන් දකුණේද වැරදි අත කැරකුණු
මාලිමාවේ වග ලියු තරු මං පොත
නිල් අහස මහ පොළොව එක ලෙසම දුටු ඇස
අසිපතක් මත හිඳ ලියූ බිඳී තල් රුක
යලිදු යුද බිමක් ගැන හීනෙන්ද නොපතන
හෙටක් කැඳවනු පිණිස දරුවෙකුට
කියවන්න දියයුතුම ‘’පෙළපොත’’
ගෙදර පූජාසනේ මත
තබා සුරැකිය යුතුම වත්කම,
පොත්ගුලක දුලබතම එකතුවේ
ඉහලින්ම තැබියයුතු ,
අකුරු දත් ඇස් වලට
කියවන්න නිර්දේශ කළයුතුම
මේ රටේ ‘’ හදපොත’’
මම යාපනයේ පෙම්වතිය,
සඳරැසී සුදුසිංහ
මාතර ඉදන්
sandaraseepriyathma@gmail.com

4 comments:

  1. භාවාතීෂය ගතියක් තිබුනත් ඒ හදවතින්ම එන හැඟීම් බව විශ්වාසයි. පාලමක් තනන්නට ලියැවෙන කොයි අකුරත් ගොඩක් වටිනවා.

    ReplyDelete
  2. thawa syndi ekk https://sithuvili.net/

    ReplyDelete
  3. මේක අලුත් වෙන්නේ නැත්ද? ඒ දවස් වල රාජන් හූල් ගේ ලිපි ඔක්කොම කියවනවා

    ReplyDelete

07. මගේ යාපනය 07

  රාජන් හූල් නම් මහා පොත සොයා ගියෙමි . ඇත්තම කියන්නේ නම් මට හිතෙන්නේම මගේ දෛවය විසින් මම යාපන අහසට තියා ඇණ ගසා ඇති වගකි. යාල් පානම් ආදරය මග...